I am what I am; I will be what I will be.

Saturday, March 31, 2018

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පිලිබඳ සරල අදහස් කිහිපයක්

(ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව සංඛ රඹුක්වැල්ල සමග පැවැත්වූ සම්මුඛ සාකච්චාව)

(Cartoon from: http://uteachers.blogspot.in/2012/07/cartoons-on-education-under-attack.html)
සංඛ රඹුක්වැල්ල:
අධ්‍යාපනය, කියන කාරණය ඔබේ විශය පථ
යට අනූව නිර්වචනය කරන්නේ කවරාකාරයෙන් ද?

සසංක පෙරේරා:
මගේ විශ්වාසය නම් අධ්‍යාපනය කියන කාරණය ආකාර කීපයකින් තේරුම් ගතයුතු බවයි. 

එක මට්ටමකින්, අධ්‍යාපනය ලබා ගැනීම කියන්නේ සාක්‍ෂරත්යවය ප්‍රගුණ කිරීම. ඉස්කෝලවලදී හෝ ගෙදරදී ලියන්න කියවන්න ඉගෙන ගැනීම තමයි මෙයින් අදහස් වෙන්නේ. තවත් මට්ටමකදී මේකට සූක්‍ෂම තාක්‍ෂණික දැනුම ලබා ගැනීම ඇතුලත් වෙනවා. වෛද්‍ය විද්‍යාව හෝ ඉන්ජිනේරු ශිල්පය සරසවිවලින් ලබාගැනීම හෝ යම් ලෙසකින් ප්‍රායෝගිකව වෟත්තීයමය තත්ත්ව තුළදී යොදා ගන්න පුළුවන් භාෂාවක් ඉගෙන ගැනීම මේ ලෙසින් තේරුම් ගන්න පුළුවන්. 

කලකට ඉහතදී හුදෙක් ඥානය සඳහාම යම් අධ්‍යාපනයක් ඇතැම් අය ලබා ගත්තා. දර්ශනය, දේශපාලන විද්‍යාව ආදී දේ අතීතයේදී ඉගැන්වූයේ මේ පරමාර්ථය ඇතිවයි. හැබැයි දැන් කාලේ බොහෝ විට මේ විෂයන් මෙන්ම තවත් බොහෝ විෂයන් ප්‍රායෝගික තාක්‍ෂණික දැනුම හෝ වඩාත් පුළුල් වූ ඥානයක් ද ලබා නොදෙන නොවැදගත් හා යල්පැන ගිය දේ බවට පත්වෙලා. 

හැබැයි  ඕනෑම සමාජයක පුලූල් අධ්‍යාපනයක විශය දැනුමට අමතරව පුරවැසිකම, සමාජ  තත්ත්ව කියවීමට හැකි විශ්ලේෂණීය දැනුම, නිර්මාණනීයත්වය අගය කිරීම ආදී හැකියාවන් ද අනිවාර්යයෙන් ඇතුලත් විය යුතුයි. එසේ නැති අධ්‍යාපනයක් කවදාවත් සාර්ථක අධ්‍යාපනයක් හැටියට දකින්න බැහැ.

සංඛ රඹුක්වැල්ල:
එකී නිර්වචනය ලංකාවේ අධ්‍යාපනයට ආදේශ කළොත් ?

සසංක පෙරේරා:
ලංකාවේ වෛද්‍ය විද්‍යාව, පරිඝණක වේදය හා ඉන්ජිනේරු ශිල්පය වැනි බොහෝ විෂයන් ඒවාට අදාල මූලික තාක්‍ෂණික දැනුම ලබා දෙන බවයි පේන්නේ. ඒ නිසා තමයි මෙවන් විශයන් ප්‍රගුණ කරණ උදවියට ලොව බොහෝ තැන්වල රැකියා අවස්ථා විවර වන්නේ. ඒත් මේ දැනුම වුනත් ලැබෙන්නේ ඒවාට අනිවාර්යයෙන් ඇතුලත් විය යුතු දාර්ශනික, ආචාරධර්මීය හා දේශපාලනික දැනුම නොමැතිවයි. ඒවා යොමු වී ඇත්තේ හුදෙක් වෙළඳපොළට තාක්‍ෂණික නිපුණත්වයක් ඇති ශ්‍රමිකයින් බිහි කිරීමට පමණයි. නමුත් මානව ශාස්ත්‍ර (humanities) හා සාමාජීය  විද්‍යාවන් (social sciences) වැනි විශයන්ගෙන් මේ වෘත්තීයමය නිපුණතාවයවත් ලැබෙන්නේ නැහැ. ඉතාමත් සරලව ගත්තොත්, ලංකාවේ ඇතැම් තාක්‍ෂණික හා වෘත්තීය අධ්‍යාපන පර්ශද හැර, අන් සියළුම අධ්‍යාපනික ක්ෂේත්‍ර  තත්කාලීන දේශීය හෝ ගෝලීය අවශ්‍යතාවලට සරිලන ලෙස විකාශනය වී නැහැ.

සංඛ රඹුක්වැල්ල:
අධ්‍යාපනය එහෙමත් නැත්නම් දැනුම ලබාගැනීම අර්බුධයක් කරා පරිවර්තනය වෙන්න පුළුවන් ද ?

සසංක පෙරේරා:
අපේ රටේ අධ්‍යාපනය දැනටමත් අර්බුදයක්  වී හමාරයි. දැන් කල යුත්තේ ඒ අර්බුදයේ පැහැදිලි ස්වරූප හඳුනාගැනීමත්, ඉන් ගොඩ එන ක්‍රම සොයා ගැනීමත් තමයි.

සංඛ රඹුක්වැල්ල:
වර්තමාන ශ්‍රී ලංකාවේ පවුල් සංස්ථාව, ආගමික සංස්ථාව, දේශපාලන සංස්ථාව වගේම අධ්‍යාපන සංස්ථාවත් පවතින්නේ අර්බුදයක. මේ අර්බුදය ඔබ දකින්නේ සංස්ථාවන් කිහිපයක එකතුවෙන් නිර්මාණය වුණ අර්බුදයක් විදිහටද එහෙමත් නැත්නම් අධ්‍යාපන සංස්ථාවේ පමණක් හටගත්තා වූ අර්බුධයක් විදිහට ද?

සසංක පෙරේරා:
පුලුල් වශයෙන් ගත්තොත්,  අපේ රට පවතින්නේ අර්බුදකාරි තත්ත්වයක. පැහැදිලි දේශපාලනික හෝ ආර්ථිකමය දිශානතියක් දකින්න නොලැබෙන රටක, ඒ රටේ පවතින රාජ්‍ය ආයතන හෝ ඔබ සඳහන් කරණ ආකාරයේ සමාජීය සංස්ථා මේ අර්බුදවලින් බේරී සිටී යැයි හිතන්න අමාරුයි. 

නමුත් අපි මේවා කලවම් කරගත යුතු නැහැ. උදාහරණනයක් විදියට, පවුල වැනි සංස්ථාවල තත්කාලීන විපර්යාස ඇති වී තිබුනත්, මා ඒවා දකින්නේ අර්බුද හැටියට නොවේ. උදාහරණයක් හැටියට, ඇමරිකාවේ වැඩිවියට පත් දරුවෙකුට තම පවුලෙන් හා දෙමාපියන්ගෙන් යම් ගැටළුවකදී ලබාගත හැකි උදව් උපකාරවලට වඩා වැඩි යමක් අපේ රටේදී මෙන්ම මේ කලාපයේ අන් රටවලදීද සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අනෙක් අතට, දේශපාලනය හෝ ආගම සංස්ථාවන් හැටියට ගත්තහම අද පවතින බොහෝ ප්‍රශ්න අපේ සමාජයේ අධ්‍යාපනයේ ගුනාත්මක බව හා එහි අඩංගු විය යුතු පුරවැසිකම පිළිබඳ විඥානය පහත වැටීමත් එක්ක සිදු වී ඇති බවයි මගේ විශ්වාසය.

සංඛ රඹුක්වැල්ල:
වර්තමානයේ ලංකාවේ කතා කරන සුලබ මාතෘකාවක් තමයි, සයිටම් ප්‍රශ්නය. මේ ගැටලුව ඔබ දකින්නේ කොහොමද ?

සසංක පෙරේරා:
උසස් අධ්‍යාපනය නිමක් නැතුව පෞද්ගලීකරණය කිරීම ගැන මගේ කැමැත්තක් නැහැ. මෙයින් කියන්නේ මේ ක්ෂේත්‍රයට පෞද්ගලික ව්‍යවසාය කිසි සේත්  නොපැමිණිය යුතුය යන්න නොවේ. ඒත් සයිටම් වැනි කිසිම ප්‍රමිතියක් නැති අධ්‍යාපන කඩ ලාභය සඳහා පමණක්ම හැම හන්දියක ඇරීම බුද්ධිමත් දෙයක් නොවේ. 

සීමා රහිතව හා ප්‍රමිතියකින් තොර  පුද්ගලික අංශයේ උසස් අධ්‍යාපනය පිළිබඳ  ඕනෑ තරම් උදාහරණ ඉන්දියාවෙන් හා බංගලිදේශයෙන් ලබා ගන්න පුළුවන්. නමුත් අපේ දේශපාලකයින් හෝ අධ්‍යාපන නිලධාරීන් මේවායින් පාඩම් ඉගෙන ගන්න බවක් පේන්න නැහැ. 

සංඛ රඹුක්වැල්ල:
අධ්‍යාපනය පෞද්ගලික අංශයට බාර දීම ද වඩාත්ම යෝග්‍ය රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කිරීම ද ?

සසංක පෙරේරා:
උසස් අධ්‍යාපනය පුද්ගලික අංශයට බාර දීමේ එකම අරමුණ වෙළඳ ලාභය පමණක් නම්, එයින් සිදුවන්නේ මුදල් වියදම් කිරීමට හැකියාවක් නැති උදවියට බරපතල අසාධාරණයක් වීමයි.  ප්‍රාතමික, ද්විතීයික හා උසස් අධ්‍යාපනය සුදුසුකම් ඇති සියලූ දෙනාගේම අයිතියක් විය යුතුයි. නමුත් තාක්‍ෂණික විෂයන් හා යම් දුරකට විද්‍යා විෂයන් හැර, අපේ විශ්වවිද්‍යාලවල තියෙන සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර  වැනි විශයන් බොහෝ දුරට කිසිම පිළිගත හැකි ගෝලීය ප්‍රමිතයකට යටත් නොවූ යල්පැන ගිය මහා ජංජාලයක්. ඉතින් මේ වගේ වැඩකට නැති උසස් අධ්‍යාපනයක් රජයෙන්වත් පුද්ගලින අංශයෙන් වත් පවත්වාගෙන යා යුතු නැති බවයි මගේ විශ්වාශය. 

සංඛ රඹුක්වැල්ල:
ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන් වසරකට උපාධිධාරීන් තිස් දහසකට ආසන්න ප්‍රමාණයක් පිට වෙනවා. නමුත් දේශපාලනික සබුද්ධිමත්භාවය අතින් ශ්‍රී ලාංකිකයා සෑහෙන්න දුර්වලයි කියලා චෝදනාවක් තියෙනවා. මේ කාරණය ඔබ දකින්නේ කොහොමද ?

සසංක පෙරේරා:
මගේ විශ්වාසය නම්, අද දවසේ විශ්වවිද්‍යාල ඥාන සම්පාදනයේ හෝ බුද්ධිමත් විවේඡනයේ කේන්ද්‍රස්ථාන හැටියට දකින්න බැරි බවයි. මා කලින් විස්තර කළ විදියට එක්කෝ මේවා තාක්‍ෂණික හෝ වෘත්තීයමය පහුණුව ලබාදෙන තැන්. නැතිනම්, ඒවා මෙලොවටත් එලොවටත් වැඩක් නැති අසම්පූර්ණ හා යල්පැනගිය දැනුම ලබාදෙන තැත්. එවැනි තැන්වලින් සමාජයට දේශපාලනික සබුද්ධිමත් බවක් ලබා දෙයි කියලා හිතන්න අමාරුයි.

සංඛ රඹුක්වැල්ල:
දැනුම බලය වේ, කියන කාරණය යතාර්තයක් විදිහට දකින්න තව කොච්චර කාලයක් ශ්‍රී ලාංකිකයා බලාසිටිය යුතුද ?

සසංක පෙරේරා:
යම් ආකාරයේ දැනුම් පද්ධති අපේ රටේ  දැනටමත් බලය පිළිබඳ මෙවලම් බවට පත්වී හමාරයි. නමුත් මෙය සිද්දවී ඇත්තේ නිශේධනීය ආකාරයකටයි. අපේ රටේ සරසවිවලින් ලබාගත්ත දැනුම නිසාම ඔවුන් ලබාගෙන ඇති තානාන්තර හරහා විශේෂයෙන්ම රජයේ වෛද්‍යවරු බලය පිළිබඳ පෙළහැර පෑම මේකට එක් උදාහරණයක්. වෛද්‍යවරු වෟත්තීය අයිතීන් සඳහා සටන් නොකළ යුතුය යන්න මෙහි අදහස නොවේ. නමුත් එසේ බලය ක්‍රියාත්මක විය යුත්තේ සමාජයට හින්සනීය අයුරකින් නොවේ. 

නමුත් ‘දැනුම බලය වේ’ යන අදහස මතු වූයේ මෙවැනි තත්ත්ව යටතේ නොවේ. එයින් අදහස් වූයේ දැනුම හා එයින් ලබන ඥානය නිසා පුද්ගලයින්ට ලෝකයම විවර වන බවයි. බලය ලෙසින් පිලිගැනුනේ මේ ඥානමය විවරවීම හා එතුලින් ගොඩ නැගෙන අනන්ත බලයයි. නමුත් වර්තමානයේ අපේ සරසවිවලින් එවන් බලයක් ගොඩනගන බව හෝ ඒ පිළිබඳ අදහසක්වත් ගොඩ නගන බව මට පේන්නේ නැහැ. සරසවි තුළම වුවත් දුරාවලිගත බලය ගොඩනැගෙන්නේ දැනුම මත නොවේ. එය ගොඩ නැගෙන්නේ පටු දේශපාලනික සුදුසුකම් මතයි.

සංඛ රඹුක්වැල්ල:
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙකු සේම විදේශ විශ්ව විද්‍යාලයට මහාචාර්යවරයෙකු ලෙස සේවය කිරීමේදී ඔබ හඳුනාගත් පැහැදිලි වෙනස්කම් මොනවද ?

සසංක පෙරේරා:
අපේ රටේ හා ලොව ඇතැම් තැන්වල ඇති විශ්වවිද්‍යාල අතර ඇති වෙනස්කම් දකින්න විදේශගතවීමම අවශ්‍ය නෑ. තත්කාලීනව ලොව හැමතැනම විශ්වවිද්‍යාලවල දැනුම් නිශ්පාදනය පිලිබඳ කඩාවැටීමක් දකින්න පුළුවන්. ඒ එක්කම පුලූල් අධ්‍යාපනයකට වඩා වෟත්තීයමය හෝ තාක්‍ෂණික අධ්‍යාපනයකට වැඩි තැනක් ලැබී තිබෙනවා. මේ අධ්‍යාපනය ඍජුවම වෙළඳපොළ සමග එක්වී ඇති නිසායි. ලංකාවේ වගේම දකුනු ආසියාවේ අන් රටවලත් මේ කඩාවැටීම හා විපර්යාසසය වඩාත් දරුණුයි. 

අපේ රටේ මම දකින ප්‍රධානම ගැටළුව නම්, මේ තත්ත්වය පුලූල් කථාබහකට ලක් වී නොතිබීමයි. මේ කතිකාව අරබන්න සුදුසුම තැන් තමයි සරසවි. නමුත් ඒවායේ ඉන්න ගුරුවරුන් මේ ගැටළුවේ කේන්ද්‍රීය වගඋත්තරකරුවන් වී ඇති සන්දර්භයක එවැනි කතිකාවක් ඇතිවෙයි කියලා හිතන්න අමාරුයි.

සංඛ රඹුක්වැල්ල:
අධ්‍යාපනික අර්බුධයෙන් ගැලවෙන්න වගේම යහපත්, බුද්ධිමත් ප්‍රජාවක් නිර්මාණය කරන්න ඔබට තියෙන යෝජනා මොනවාද මහාචාර්යතුමනී?

සසංක පෙරේරා:
මේවා කියන එක ලේසියි කරනවාට වැඩිය. අඩුම තරමින් අපේ සමස්ථ අධ්‍යාපන පද්ධතියේ අනේක අර්බුධ අපි පැහැදිලිවම තේරුම් ගත යුතුයි. යම් යම් වාර්තා තිබුනට, බුද්ධිමතුන් අතලොස්සක් මේ ගැන කතා කරලා තිබුනට,  මේ ප්‍රශ්නය සමස්ථයක් විදියට අපි තාමත් විධිමත්ව තේරුම් අරන් නැහැ. 

එක් අතකින් මං හිතන්නේ අපේ විශ්වවිද්‍යාල බොහෝමයක් වෙළඳපොළට ශ්‍රමිකයින් බිහිකරන තාක්‍ෂණික ආයතන බවට පත්කළ යුතුයි. හැමෝම බොහෝම සාධාරණීයව ඉල්ලන්නේ රස්සානේ. රස්සාවල්වලට ශ්‍රමිකයන් පුහුණුකළ හැක්කේ මේ වගේ තාක්‍ෂණික ආයතනවලටයි. මූලික උසස් අධ්‍යාපනයක් ලබාදිය යුත්තතේ ඒ සඳහාම වෙන්වූ කොලීජිවලින් (undergraduate education). 

විශ්වවිද්‍යාල වෙන් විය යුත්තේ  ඕනෑම විශය ක්ෂේත්‍රයක් ගැඹුරින් හැදෑරීමට හා ඒ පිළිබඳ පර්යේෂණ කිරීමටයි. අපේ තියෙන්නේ මේ සියල්ල ඔහේ කලවම් කර ගත්ත පද්ධතියක්. 

නමුත් මේ කුමන මට්ටමකින් අපි සමාජයට අධ්‍යාපනය ලබා දුන්නත්, විචාරශීලී වන්නටත්, චිත්තවේගයට වඩා බුද්ධිය ආශ්‍රයෙන් හිතන්නට හා තීරණ ගන්නටත්, වෘත්තීය අවශ්‍යතාවලට අමතරව කලාව හා නිර්මාණශීලී බව අගය කරන්නත් හැකි අධ්‍යාපනයක් තමයි රටකට අවශ්‍ය. 

නමුත් අපේ අවාසනාවට, මෙවැනි තීරණ ගැනීමට හැකියාවක් තියෙන නායකයන් මෑත කාලයේ අපේ රටේ බිහිවෙලා නෑ.

(මේ සම්මුඛ සාකච්චාව පෙබරවාරි 18 දින දරන රාවය  පුවත්පත්‍රයේ පළවීය. ඊට මෙතනින් පිවිසිය හැක)

No comments:

Post a Comment