I am what I am; I will be what I will be.

Saturday, March 31, 2018

ශ්‍රී ලංකාවේ සංස්කෘතික බලය හා දේශපාලනය පිළිබඳ කතාබහක්

(2018 පෙබරවාරි  4 වෙනිදාට යෙදී තිබුණ ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සැමරුම නිමිත්තෙන් රසික කොටුදුරගේ සමග පැවැත්වූ සම්මුඛ සාකච්චාව)

(Image from Daily Mirror, Colombo; 01 February 2018)

රසික කොටුදුරගේ:

නිදහස ලබා වසර 70ක් ගෙවුනද අපට තවමත් වික්ටෝරියානු සදාචාරයෙන් ගැලවීමක් නැතිද?

සසංක පෙරේරා:
විධිමත් සංකල්ප හා අදහස් භාවිතාකරන විට ප‍්‍වේසමෙන් කළ යුතුයි. වික්ටෝරියානු සදාචාරය කියන පුලුල් සංකල්පය තුළ වික්ටෝරියානු යුගයේ බිහිවූ අනේක අදහස් හා වටිනාකම් ගණනාවක් ඇතුලත්වෙලා තියෙනවා. මේ සියල්ලම එකක් විදිහට තේරුම් ගන්න උත්සාහ කිරීම බුද්ධිමත් දෙයක් නොවේ. වික්ටෝරියානු යුගය මූලික වශයෙන් බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ  පාලන කාලයයි. ඒ කියන්නේ 1837 සිට 1901 දක්වා. මේ අනුව, වික්ටෝරියානු සදාචාරය යන යෙදුමේ පරිසමාප්ත අදහස මේ කාලයේ බ්‍රිතාන්‍යයේ ජීවත්වූ ජනතාව පාලනය කිරීම සඳහා එම ජනතාව විසින් සාමූහිකව පිළිගෙන තිබූ සදාචාරමය ප්‍රතිපත්ති මාලාවයි. 

මීට ඉතාමත් දැඩි ලිංගිකමය පාලනය, අපරාධ (හොර මැරකම් හා වංචා ආදිය) නොඉවසීම, විධිමත් දැනුම හා ඥානය අගය කිරීම හා දැඩි සමාජීය ආචාර ධර්ම පද්ධතියකට ගරු කිරීම වැනි කරුණු ඇතුලත් වෙනවා. 19 වන සියවසේ බ්‍රිතාන්‍ය සතු වූ දේශපාලනික හා සමාජ-සංස්කෘතික බලය නිසා මේ අගයන් බ්‍රිතාන්‍යයෙන් ඔබ්බේ පිහිටි බ්‍රිතාන්‍ය යටත්විජිත හා අන් රටවල් ගණනාවක් වෙතත් පැතිර ගියා. වික්ටෝරියානු සදාචාරමය පද්ධතිය අපේ වගේ රටවලට ආවේ  මේ විදිහටයි. ලංකාවේ 19 වන සියවසේ පැවති යටත් විජිත අධ්‍යාපනයේ මූලික අරමුණක් වුනේ ෙමි අගය පද්ධතිය ලාංකේය සමාජයේ ස්ථාපනය කිරීමයි.  

මගේ අදහස නම්, යම් අදහස් පද්ධතියක් විදේශීය, අධිරාජ්‍යවාදී හෝ පැරණි වූ පලියට, එයින් අපිට තත්ත්කාලීනව රයෝජනයක් තිබේ නම්, එය පිලිකෙව් කිරීම අවශ්‍ය නැති බවයි. වික්ටෝරියානු සදාචාරමය පද්ධතිය දිහා අපි බැලිය යුත්තේත් මේ විදියටයි. ලංකාවේ අද පවතින ලිංගික සම්බන්ධතා හා ලිංගිකත්වය පිළිබඳ අදහස් මූලික වශයෙන් මේ වික්ටෝරියානු සදාචාරයෙන් උකහාගත් ඒවා. ඒ ඒවා සාධාරණීකරණය කරන්නේ ඉතා ඈත අතීතයේ සිට අපේ සමාජයේ තිබූ අදහස්  හැටියටයි. අඩුම තරමින් උඩරට යුගය පිළිබඳ ශේෂ වී ඇති ඓතිහාසික වාර්තා හා පැල් කවි සහ ජනකථා වැනි මූලාශ්‍ර ආශ්‍රය කළොත් අපිට පැහැදිළිව පේන කරුණක් තමයි ඒ යුගයේ ලිංගිකත්වය පිළිබඳව බලපැවැත්වූයේ වඩාත් නිදහස් අගය පද්ධතියක් බවයි. ඒ යුගයේ බහු-පුරුෂ විවාහ මෙන්ම දික්කසාදයද දැකගත හැකි වුනා. එකල ප්‍රචලිතවී තිබූ බින්න විවාහ ක්‍රමය යටතේ ස්ත්‍රියට සෑහෙන සමාජ බලයක් තිබුනා දික්කසාදය ගැන තීරණ ගන්න. හැබැයි මේ පූර්ව  වික්ටෝරියානු අදහස් අපිට අද බොහෝ දුරට අමතක වී ගිය දේවල්. ඉතාමත් මෑතකදී ස්ත්‍රීන්ට ලදී මධ්‍යසාර මිලදී ගත නොහැකි වන පරිදි ජනාධිපති තුමා යල් පැන ගිය නීති නැවතත් පනවන කොට, ඒ අපේ ඉපැරණි අදහස් අගයකිරීමකට වඩා, වික්ටෝරියානු සදාචාරවාදයේ පටුම අගයන් පසුපස යෑමක් හැටියටයි මා දකින්නේ.

නමුත් අනික් අතට, මේ සදාචාර පද්ධතියම හොරමැරකම් හා වංචා ඉතාමත් පැහැදිලිව බැහැර කළා. එලෙසම, ඒ සදාචාර පද්ධතිය  අදටත් අප අතර පවතින විධිමත් දැනුම් පද්ධති හා ඥාන පර්ශද දැඩි ලෙස අගය කළා විතරක් නොවේ, ඒවා නගා හිටවන්නත් රුකුල් දුන්නා. අපේ රටේ තවදුරටත් පවතින බොහෝ වර්තමාන විෂය ක්‍ෂේත‍්‍ර වගේම සරසවි වැනි ආයතනත් අප අතරට පැමිණියේ මේ තත්ත්වය යටතේයි. මේ අගය පද්ධතියම දේශපාලනයේදී හා මහජන සේවයේදී ආචාරධර්මානුකූලව හැසිරීමට සමාජයට බල කලා. මගේ පරම්පරාවේ උදවියගේ දෙමාපියන් බොහෝ දෙනා හරි වැරදි මොනවාද කියා ඉගෙන ගත්තෙත්, අපට කියා දුන්නෙත් අවම වශයෙන් යම් දුරකට වික්ටෝරියානු සදාචාරවාදයේ අගය පද්ධතීන් ඇසුරු කරමින්. ඔවුන්ට මේ පිළිබඳ සවිඥානික දැනුමක් තිබුනද නැත්ද කියන එක වෙනම කාරණයක්. හැබැයි අනෙක් අතට, මේ සමාජානුයෝජනයට අපේ වගේ පවුල්වල උදවියට බෞද්ධ ආචාර ධර්මත් බලපෑවා. අනෙක් ආගමිකයින්ටත් මේ විදියටම වික්ටෝරියානු අදහස්වලට අමතරව තමතමන්ගේ ආගමික පසුබිමත් පිහැදිලිවම බලපෑම් කරන්නට ඇති.

මේ විදියට බලන කොට, මේ හර පද්ධතියෙන් අයින් කළ යුත්තේ මොනවාද, තවදුරටත් සරණ යා යුත්තේ මොනවාද, දැනට පවතින සමාජ-සංස්කෘතික තත්ත්ව අනුව වෙනස් කරගත යුත්තේ මොනවාද යන්න පිළිබඳව ගැඹුරින් සිතන එකයි වඩාත් යෝග්‍ය. මා හිතන්නේ අපි එකඟ නොවන හැම දේම වික්ටෝරියානු සදාචාරයේ ලේබලය ඇතුලට දාලා වීසි කරන එක එච්චර බුද්ධිගෝචර නැහැ.

රසික කොටුදුරගේ:
සියයට සීයයේ සිංහල බෞද්ධ උරුමය ගැන හද කකියවන සටන් පාඨ වික්ටෝරියානු දෘෂ්ටිවාදයේම දිගුවක්ද

සසංක පෙරේරා:
පැහැදිලිවම සිංහල බෞද්ධ උරුමය සමස්තයක් ලෙස ගත්තම එය වික්ටෝරියානු සදාචාරවාදයට වඩා බෙහෙවින් පැරණියි. මා මෙයින් අදහස් කරන්නේ මේ උරුමයේ ඇතැම් අගයන්, විද්‍යාව හා කලාව පිළිබඳ දැනුම, වාස්තුවිද්‍යාත්මක අවශේෂ, නිර්මාණ සාහිත්‍ය ආදී දේ. මේවා පැහැදිලි ඉතිහාසමය සාධක. ඒත් සිංහල බෞද්ධ යන අදහස අපි ජනවාර්ගික අනන්‍යතාවක් ලෙස විතරක් සැලකුවොත්, ඒ අනන්‍යතාව 19 වන සියවසින් පසු කාලයේ සිට අද වන තෙක් ගොඩනගන්න උපකාර කළ ඇතැම් දැනුම් පර්ෂද වික්ටෝරියානු සදාචාරවාදයෙන් උරුම වූ ඒවා.

මේ අතරට ඉතිහාසය හා විද්‍යාව වැනි විෂයන් ඇතුළත් වෙනවා. උදාහරණයක් හැටියට, සිංහල ජන ප්‍රජාව ගැනත්, ලංකාවේ බුද්ධාගම හා වත්පිළිවෙත් ගැනත් බොහෝ දැනුමක් නිෂ්පාදනය වුනේ යටත් විජිත දැනුම් ප්‍රසාරණයත් එක්ක. මේ දැනුම බොහෝ දුරට අප වෙත පැමිනෙන්නේ විජිතවාදී ඉතිහාසකරණයේ අනිවාර්ය කොටසක් ලෙස පළවූ අනන්ත ලිපි ලේඛන වලින්. 

තොරතුරු හා අර්තකතන පිලිබඳ ඇතැම් අඩුපාඩු කොතරම් තිබුනත්, රාජකීය අසියාතික සංගමයේ නිබන්ධන මේවාට උදාහරණ හැටියට සලකන්න පුළුවනි. ඒ වාගේම අනුරාධපුරය ඇතුළු අපගේ ඉපැරණි නටබුන්වූ නගර නැවත සොයාගත්තෙත් මේ දැනුම් ප්‍රසාරණයේම ප්‍රතිඵල හැටියට. එච්.සී.පී. බෙල් මහතාගේ පර්යේෂණ හා ඒ පිළිබඳ වාර්තා මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවීමත් මීට උදාහරණ සපයනවා. 

මේ අතින් බලන විට, වික්ටෝරියානු සදාචාරවාදයෙන්ම බිහිවූ පුරාවිද්‍යාව හා ඉතිහාසය වැනි විෂයන් නැත්නම් සිංහල බෞද්ධ ජනවාර්ගික අනන්‍යතාවේ වර්තමාන විස්තීරණ ගොඩනගන්න අත්‍යාවශ්‍යම දැනුම අපිට නොලැබී යන්නට ඉඩතිබුනා. මා දකින විදියට යතාර්ථය මේකයි. නමුත් මේ තත්ත්වය සිංහල බෞද්ධ උරුමය වික්ටෝරියානු සදාචාරවාදයේ දිගුවක් විදිහට දැකීම සාර්ථක විශ්ලේෂණයක් නෙවෙයි. එය දැනුම හා අතීතය පිළිබඳ සංකීර්ණ තත්ත්වයක් අනවශ්‍ය ලෙස ළඝු කිරීමක් ලෙයසි මා දකින්නේ.

රසික කොටුදුරගේ:
මෙරටට අනන්ය වූ සංස්කෘතික විඥානයක් ඉන්දියානු නිදහස් සටනේදී නේරුල ගාන්ධිල, අම්බෙට්කාර් වැනි නායකයින් කළ සේ් ගොඩ නැගීමට අපට හැකි වුනිද?

සසංක පෙරේරා:
මගේ තේරුම්ගැනීම නම්, මෙවන් ඉන්දීය නිදහස් අරගලයේ නායකයින් උත්සාහ ගත්තේ සංස්කෘතික විඥානයකට වඩා දේශපාලනික මතවාදයක් හා ඒ පිළිබඳ විඥානයක් ගොඩනැගීමට බවයි. මෙහි මූලික පදනමක් වුනේ ඉන්දීය රාජ්‍ය ඓහික  (secular) රාජ්‍යක් විය යුතුය යන්නයි. එයින් අදහස් වන්නේ රාජ්‍යක් ලෙස පශ්චාත්-නිදහස් ඉන්දීය ජාතික රාජ්‍ය කිසිම ආගමක සංස්කෘතික අනන්‍යතාවක් වැළඳ නොගත යුතුය යන්නයි. මේ කේන්ද්‍රීය අදහස ආචාර්ය අම්බේද්කර්ගේ ප්‍රධාන දායකත්වය යටතේ ලියැවුන ඉන්දීය ව්‍යවස්ථාවේ පූර්විකාවේම ඇතුලත් වී තිබෙනවා. 

නමුත් මෙයින් අදහස් වන්නේ ඉන්දියාව අනාගමික විය යුතුය යන්න නොවේ. එහි අදහස රාජ්‍යයේ ක්‍රියාකාරීත්වයට එක් ආගමක් හෝ ආගම් කිහිපයක් බලපෑම් නොකළ යුතුය යන්නයි. මේ නායකයින්ට අවශ්‍ය වූයේ නිදහසින් පසුව, හින්දු දහම එහි අති විශාල සංස්කෘතික හා දේශපාලනික බලය නිසා රාජ්‍ය පාලනයට හෝ ප්‍රතිපත්ති සම්පාදනයට බලපෑම් කළ නොහැකි තත්ත්වයක තැබීමටයි. එනම්, කිසිම එක් ආගමකට දේශපාලනික බලය ලබා නොදීමෙන් ආගම් අතර යම් සමතුලිත බවක් හා සහජීවනයක් ඇතිකිරීමටයි. 

මෙයට හේතු වූයේ පශ්චාත් නිදහස් යුගයේ ආගමික ගැටුම් ඇතිවිය හැකිය යන විශ්වාසය ඔවුන් තුළ තිබූ නිසායි. ඇත්තෙන්ම අඛන්ඩව පැවති භාරතය පාකිස්ථානය ලෙසින් 1947 දී වෙන් වූයේත්, නැගෙනහිර පාකිස්ථානය 1971දී බංගලිදේශය වශයෙන් වෙන්වූයේත් මූලික වශයෙන්ම ආගමික අනන්‍යතාවන්ගේ බල-දේශපාලනික තරගකාරීත්වය නිසා බව අප අමතක නොකළ යුතුයි.

මේ නායකයින් සංස්කෘතික විඥානයක් පිළිබඳ එතරම් කථා නොකළේ ඉන්දියාව වැනි සංස්කෘතික වශයෙන් අතිශය විවිධත්වයක් පෙන්නුම් කරන තැනක යම් කේවල සංස්කෘතික විඥානයක් පිළිබඳ අදහසක් ගොඩනැගීම ඉතා අපහසු බව හොදින් දැන සිටි නිසාය යන්නයි මගේ විශ්වාසයයි. නමුත් සාමාන්‍ය කථාබහේදී ‘ඉන්දීය සංස්කෘතිය’ වශයෙන් යම් අපැහැදිලි හා සරල අදහසක් මතුවෙනවා. නමුත් මේ කතාව සිද්ධ වන්නේ දිල්ලියේද, ඇසෑමයේද, කේරලයේද, තමිල්නාඩුවේද ආදි කරුණු මත මේ සංස්කෘතික විඥානයේ ස්වභායය හා එහි භෞතිකමය හා චිත්තවේගීය අන්තර්ගතය  වෙනස් වෙනවා.

හැබැයි අද වන විට අපි හොඳින් දන්නා කාරණයක් වන්නේ ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමීන් ස්ථාපනය කරන්නට උත්සාහ කළ මේ සමස්ථ ඉන්දීය රටවැසි නැතිනම් ජාතික අනන්‍යතාව එතරම් සාර්ථක වී නොමැති බවයි. ඊට හේතුව කුල, ජනවාර්ගික, ආගමික, භාෂාමය හා කලාපමය අනන්‍යතා මේ පුළුල් ඉන්දීය අනන්‍යතාව සෑහෙන දුරට අකර්මණ්‍ය කර ඇති නිසායි. ඒ රටේ මෑත කාලීනව ඇති වී තිබෙන මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචන්ඩත්වය හා දීර්ග කාලීනව සිදු වන දලිත්-විරෝධී ප්‍රචන්ඩත්වය මීට හොඳ උදාහරණ.

රසික කොටුදුරගේ:
සංස්කෘතික විඥානය කිසිදා නොවෙනස් අඛණ්ඩතාවත් 
ප්‍රකට කරන්නේද, නැතිනම් වෙනස් වෙමින් ඉදිරියට යෑම එහි ස්වභාවයද? 

සසංක පෙරේරා:
සංස්කෘතියේ අනේකවිද භෙෘතික නිෂ්පාදන මෙන්ම සංස්කෘතික අගයන් හා විශ්වාස සහ සංස්කෘතිය පිළිබඳව යම් සමාජයක් තුළ තිබෙන විඥානයත් කාලීනව වෙනස් වෙනවා. මේක සදාතනිකවම බලපාන ලෝක ධර්මයක්. බෞද්ධ අදහස්වලට අනුව, ‘සියළුම දේ අනිත්‍යයි’ කියන විශ්වාසය මේ යථාව මැනැවින් හා සරලව විස්තර කර දක්වනවා.

මීට හේතුව කාලීනව යම් සංස්කෘතික අඩවියකට, නැතිනම් සමාජයකට අන් සංස්කෘතික කලාපවලින් නිරතුරුවම අදහස් හා භාවිත ගලාගෙන ඒමයි. නමුත් යුද්ධමය තත්ත්ව තුළ ඇතිවෙන බලපෑම් හැර බොහෝ සංස්කෘතික වෙනස්කම් සිද්ධ වන්නේ ස්වේඡ්චාවෙන් පුද්ගලයින් යම් යම් නවාංග වැලඳගන්නා නිසායි. අපි අද සිංහල ආහාර හැටියට සලකන ඉදිආප්ප  හා ආප්ප කේරලයෙන් ආපු බවයි පේන්න තියෙන්නේ. අනෙක් අතට, කේරලයේ අභ්‍යන්තරික ගම්මානවල ඇවිදින විට බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි, රා මැදීම පිලිබඳ තාක්‍ෂණය ලංකාවෙන් එහාට පැමිණි බව. කේරලයත් එක් ලංකාව දීර්ගකාලීනව පවත්වා ඇති සමීප සම්බන්ධතා නිසා මේ සංසිකෘතික විසරණය හා කාලයක් තුළ ඒවා දේශීයකරණයට ලක්වීම සාමාන්‍ය දෙයක්.  

මේ සංස්කෘතිය හා ඒ පිළිබඳ ඇති විඥානය වෙනස්වීම පිළිබඳ සරල උදාහරණ දෙකක් පමණයි. හැබැයි ඇතැම් විට සංස්කාතික වෙනස්වීම් සිද්ධ වෙන්නේ අන්ධව යම් යම් දේ පසුපස ඔහේ හඹායන නිසයි.

රසික කොටුදුරගේ:
පවතින ඊනියා සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය පෝෂණය කිරීමෙන් ඵලක් තිබේද?

සසංක පෙරේරා:
සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය කියන්නේ මොකක්ද කියන කාරණය අපි මූලින්ම අපගෙන්ම ඇසිය යුතුයි. ඒ කියන්නේ, අපි අදහස් කරන්නේ සිංහල බුද්ධාගම කියන ආගමික ප්‍රවාහය ගැනද? නැතිනම්, අපි කථාකරන්නේ සිංහල බෞද්ධ කියන දේශපාලන ප්‍රවාහය හෝ ඊටම සම්බන්ධ ජනවාර්ගික අනන්‍යතාව පිළිබඳවද? මා දකින්නේ මේවා කාරණා දෙකක් හැටියටයි.

නාථ, සමන්, දැඩිමුන්ඩ ආදී ලංකාවටම ආවේනික දෙවිදේවතාවන් හා හින්දු දහමෙන් බෞද්ධ දේව පරිමණ්ඩලයට පැමිණ ඇති ශිව, විශ්ණු ආදී දෙවිදේවතාවන්ගෙන් හා දේශීයව කාලයක් තිස්සේ ගොඩගැගී ඇති වතාවත්ද එක්ව ගොඩගැගී ඇති සිංහල බුද්ධාගම සිංහල සංස්කෘතිය පවතින තාක් කල් යම් යම් වෙනස්කම් එක්ක පවතියි කියා මා හිතනවා. එය පෝෂණය වන්නේ එහි සරණ යන බැතිමතුන් මගින්. මේ පිළිබඳ මට ගැටළුවක් නැහැ. 

ඒත් මේ ප්‍රවර්ගය ඇතුළේම තියනවා බෙහෙවින් ආන්තික හා ගැටළුකාරී ප්‍රවණතා. තමන් සෝවන් වෙලා නැතිනම් බුදුවෙලා යයි කියාගන්නා, තම උපන්දිනට මහා සාද පවත්වන, අධි-සුඛෝපබෝගී මන්දිරවල වැඩවාසය කරන හා විමාන වැනි වාහනවලින් එහා මෙහා කරක්ගහන චීවරදාරීන් කලින් කලට අපේ රට තුළ මතු වෙනවා. ඒ උදවියට සෑහෙන පිරිසකුත් එක්රැස්කරගන්න බොහෝ විට හැකි වෙනවා. මේවා මා දකින්නේ සිංහල බුද්ධාගමේම ගැටළුකාරී මෑතකාලීන සංස්කෘතික ප්‍රවණතා හැටියට. 

පුද්ගලිකව සිංහල බෞද්ධයෙකු හැටියට මට මේවා පිළිබඳව තිබනේනේ කනගාටුවක්. නමුත් රටේ උන්නතියට හා සමාජ සහජීවනයට හානියක් නොවන තාක් කල් මේවා නීතියෙන් තහනම් කළයුතු යැයි මා හිතනනේ නැහැ. මේවාට රාජ්‍ය උපකාරදීම කෙසේවත් නොකළ යුතුයි. එම ප්‍රවණතා වටා රොක් වූ බැතිමතුන් ඒවා පෝෂණය කරනතාක් කල් ඒවා පවතියි. ඒවා නැති වෙච්ච දිනක මේවා අපේ මතකයෙන් ඈත් වෙයි.

නමුත් සිංහල බෞද්ධ දේශපාලන ප්‍රවාහය හා ජනවාර්ගික අනන්‍යතාව කියන්නේ මේකටම නෙවේ. මෙය මා දකින්නේ ආගමකට වඩා මෑතකාලීන දේශපාලනික තත්ත්ව යටතේ ඒවායේ ප්‍රතිපල ලෙස මතුවූ බලවේගයක් නැතිනම් අනන්‍යතාවක් ලෙස. අනන්‍යතාවක් ලෙස සිංහල බෞද්ධ යන්නේ අදහස බුද්ධාගම අදහන හා සිංහල බස කතාකරන හා සිංහල අතීතය පිළිබඳව චිත්තවේගී බැඳීමක් ඇති කෙනෙක් නම්, එය ගැටළුවක් විය යුතු නැහැ. මාත් පැහැදිලිවම එයින් කෙනෙක්. 

නමුත් සිංහල බෞද්ධ යන්න දේශපාලන බලවේගයක් ලෙස ගත්තහම, එහි අතැම් ප්‍රවණතා අන්‍යාගමිකයින්ට විරුද්ධව, නැතිනම් ඔවුන්ගේ ආගමික ස්ථාන හෝ වෙළඳ ආයතන වෙත ප්‍රචන්ඩත්වය එල්ල කරන, බුද්ධ ධර්මයේ නාමයෙන් අන්‍යයින්ට වදහිංසා පමුණුවා ඒවා සාධරණීකරනය කරන අවරගණයේ දේශපාලනික ගතික බවට පත්ව තිබෙනවා. ඒත් මේවා සිංහල බෞද්ධ දේශපාලනික ප්‍රවාහයේ ඇතැම් විස්තීරණ පමණයි. එහි සියළුම විස්තීරණ මේ විදියට දැකීම සාර්ථක විශ්ලේෂණයක් නොවේ. හැබැයි මේ ගැටළුකාරී ප්‍රවණතා මා දකින්නේ බුද්ධාගමේ කේන්ද්‍රීය අදහස් හා විශ්වාස කණපිට හරවන බෞද්ධ-විරෝධී හා බුද්ධි-විරෝධී චන්ඩිකම් හැටියටයි. මෙැවැනි ප්‍රවණතා අපගේ සමාජයට බෙහෙවින් භයානකයි. 

මෙවැනිම ප්‍රවණතා හා ඒවායේ අති-භයානක ප්‍රතිවිපාක මේ වනවිටත් අපි පාකිස්ථානයේ හා බංගලිදේශයේ මුස්ලිම් දේශපාලන අන්තවාදීන් හා ඉන්දියාවේ හින්දු දේශපාලන අන්තවාදීනගේ ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් පැහැදිලිවම දැකලා තියෙන්වා. මේවා පැහැදිලිවම අපේ රටට අවශ්‍ය දේවල් හෝ පෝශණය කළයුතු දෙවල් නොවෙයි.

ඉන්දියාවේ මෙන්ම අන් සියළුම දකුණු ආසියානු රටවල මෙන් අපටත් නොහැකි වී ඇත්තේ අප අතර සිටින සියළුම ජන කන්ඩායම් සම අයිතීන් යටතේ එක්රැස් කළහැකි ප්‍ර භල සමස්ථ ලාංකේය රටවැසිකමක් පිළිබඳ අදහසක් හෝ ලාංකේය ජාතික අනන්‍යතාවක් ගොඩනැගීමටයි. දැනට සිදුවී ඇත්තේ සිංහල, දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි ආදී වශයෙන් ප්‍රාථමික අනන්‍යතා වටා ජනයා රොක් වෙන එකයි. මෙය සාමාන්‍ය දෙයක්. නමුත් තත්කාලීන අවශ්‍යතා හා යතාර්ථ අනුව සිදුවිය යුත්තේ මේ ප්‍රාථමික අනන්‍යතාවන්ට ඔබ්බෙන් මේ සියල්ලම එක්කර ගත හැකි ව්‍යුක්ත ජාතික අනන්‍යතාවක් සවින්ඥානිකව ගොඩනැගීමයි. මේක නිදහසින් වසර 70 කට පසුවත් තාම නිසියාකාරව සිද්ධ වෙලා නෑ. 

රසික කොටුදුරගේ:
බෞද්ධ දර්ශනය වනාහී කේවල ජාතියක බූදලයක්ද අනාගමික මානව විමුක්ති දර්ශනයක්ද? 

සසංක පෙරේරා:
බෞද්ධ දර්ශනය අන් සියළුම දර්ශනවාදයන් මෙන් විශ්වීයව පවතින හා ක්‍රියාවට නැංවිය හැකි දර්ශනයක්. මේ දර්ශනය තමයි ‘ධම්ම පදය’ ඇතුළු මූලික බෞද්ධ පඨිතවල හා ටීකාවල සටහන් වී ඇත්තේ. ඒ අතින් ගත්තහම බෞද්ධ දර්ශනය එක් ජාතියක හෝ රටක තනි බූදලයක් නොවේ. අනෙක් අතට, අපි හොඳින්ම දන්නාකාරයට බෞද්ධ ඉතිහාසය අද නේපාලය ලෙස හැන්වෙන ප්‍රදේශයේ ප්‍රභවය ලබා, ආදී භාරතයේ ප්‍රචලිතවී අද දින ඇෆ්ගනිස්තානය හා පකිස්තානය ලෙස හැදින්වෙන බටහිර දකුණු අසියානු ප්‍රදේශවලටත් මාලදිවයින් වැනි දක්‍ෂිණ දකුණු ආසියා කලාප වෙතත් චීනය, කොරියාව, ජපානය හා අන් නැගෙනහිර ආසියානු කලාප වෙතත් ප්‍රචලිත වුනා. 

ලන්ඩනයේ පාලි පොත් සංසදය (Pali Book Society) වැනි සංවිධානවල කාර්යභාරය මෙන්ම, මැක්ස් මුලර්, අනගාරික ධර්මපාල, විල්හෙල්ම් ගයිගර් හා එඞ්වින් ආනල්ඞ් වැනි උගතුන්ගේ බුද්ධිමය ක්‍රියාකාරකම් නිසාත් බෞද්ධ දර්ශනය බටහිර කලාපවල ඇතැම් බුද්ධිමය කොටස් වෙතත් යම් දුරකට ව්‍යාප්ත වුනා. අපි බෞද්ධ ධර්මය ලෝකය පුරා ප්‍රචලිත වී ඇති අන් ප්‍රධාන විශ්වීය ආගම් අතරට ඇතුලත් කරන්නේ එහි ඇති මේ විශ්වීය ස්වභාවය නිසායි.

නමුත් බෞද්ධ දර්ශනය (එනම්, එහි බුද්ධිමය අන්තර්ගතය) එහි භක්තිමය හා වත්පිලවෙත් පිළිබඳ සංස්කෘතික අන්තර්ගතයෙන් සම්පූර්ණයෙන්ම වෙන් කරන්න හැකියාවක් නැහැ. මේ සංස්කෘතිකමය කොටස දර්ශනය ගමන් කරන එක් එක් ප්‍රදේශවලදී ඒ ඒ තැන්වල තිබෙන දේශීය විශ්වාස, ඇදහිලි හා අන් සංස්කෘතික ලක්‍ෂණ හා එක් වී, ඒ ඒ තැන්වලටම ආවේනික වත්පිලිවෙත් ගොඩනගා ගන්නවා. සිංහල බුද්ධාගම, චීන හෝ තායිලන්ත බුද්ධාගම, ජපන් හෝ ටිබෙට් බුද්ධාගම ආදී වශයෙන් මූලික වශයෙන් වෙන් වන්නේ මේ තත්ත්වය තුළයි. මේ සංස්කෘතික වෙනස්කම් නිසා සමහර උදවිය බුද්ධාගම තමන්ගේ තනි බූදලයක් විදියට දකින අවස්ථා ලංකාවේ වගේම අන් රටවලත් දකින්න ලැබෙනවා. මීට තවත් හේතුවක් තමයි මේ සංස්කෘතික වෙනස්කම්  හා එහි දේශපාලනීකරණය නිසා එක් එක් රටවලදී බෞද්ධ දර්ශනයේ අතිශයින් වැදගත් කේන්ද්‍රීය අදහස් අමතක කර දැමීම හා ඒවා අතැම් විට මුල් අදහස්වලින් වෙනස් කරන්නට උත්සාහ ගැනීම නිසා ආගමේ විශ්වීය ලක්‍ෂණ මිලින වී දේශීය ලක්‍ෂණ මතුවීම.

රසික කොටුදුරගේ:
නිදහස ලැබූ ලෝකයේ අනෙකුත් රටවල් හා සංසන්දනාත්මකව බැලීමේ දී වසර 70වක නිදහස් විසින් ලාංකේය ජනසමාජය උරුම කරදී ඇති සුවිශේෂතා කවරේද?

සසංක පෙරේරා:
දකුනු ආසියාවේ සියළුම පශ්චාත් යටත්විජිත රටවල වර්තමාන තත්ත්වය සුබදායක නැහැ. ලංකාවේ විතරක් නෙවේ, මේ ගැටළුව ඉන්දියාවෙත්, පාකිස්ථානයෙත්, බංගලිදේශයෙත්, ඇෆ්ගනිස්තානයෙත්, මාලදිවයින්වලත් දැකගන්න පුළුවන්. 

එක් ප‍්‍රශ්නයක් තමයි යටත් විජිත යුගයේ සිදුවූ ආර්ථිකමය සූරාකෑම්වලින් හා නව-යටත්විජිතමය වෙළද, මූල්‍ය හා ආර්ථිකමය බැඳීම් හා යැපීම් පද්ධතිවලින් නිසියාකාරව ගැලවෙන්නට අපිට බැරිවීම. නමුත් සියළුම පශ්චාත් යටත්විජිත ගැටළු අපිට සුද්දන්ගේ කර පිට පටවන්න බැහැ. උදාහරණයක් හැටියට යටත්විජිතවාදීන් ලංකාව අත්හැර යන විට අපේ භාණ්ඩාගාරයේ සෑහෙන මුදල් අතිරික්තයක් තිබුනා. නමුත් ඊට සාපේක්‍ෂව අපේ සංවර්ධනය අවශ්‍යාකාරයට සිදුවුනේ නැහැ. ලංකාවේ වගේම අන් කලාපීය රටවලත් ප්‍රධානතම ගැටළුව වුනේ අපේ පශ්චාත් යටත්විජිත සමාජ-දේශපාලනික වාතාවරණය නිසි ලෙස සකසා නොගැනීමයි. 

අන්තර්-වාර්ගික හා ආගමික ප‍්‍රශ්න පාලනය කර නොගැනීම නිසා ඒවා අ්‍යන්තරික දේශපාලනික අස්ථාවර තත්ත්ව ඇති කළා. නැතිනම් ඒවා යුද තත්ත්ව බවට පරිවර්තනය වුනා. සංවර්ධන සැලසුම්, කාර්මීකරණ ව්‍යාපෘති වෘත්තීයමය මට්ටමකින් ක්‍රියායාත්මක නොකිරීම නිසා හා මූල්‍යමය වංචා හා පාලන ව්‍යුහයන් දේශපාලනීකරණයට නතුවීම නිසා මේ ව්‍යාපෘතිවලින් අවශ්‍යය ප්‍රතිඵල ලැබුනේ නැහැ. මේවා කලාපයේම දැකගත හැකි පොදු ගැටළු.

නමුත් ලංකාව කලාපයේ අන් රටවලට සාපේක්‍ෂව යම් අංශවලින් පැහැදිලි දියුණුවක් පෙන්නුම් කරණවා. සී ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපන ක්‍රමය ආරම්භ කිරීම නිසා අද ලංකාවේ සාක්‍ෂරත්වය 92% තරම් වෙනවා. මේ එක් උදාහරණයක් විතරයි. මහජන සෞඛ්‍යය, සමාජ-ලිංගික සමානාත්මතාව ආදී කරුණුවලිනුත් ලංකාවේ තත්ත්වය කලාපයේ අන් සියළුම රටවලට හා අතැම් විට ලොව අන් බොහෝ රටවලටද වඩා දියුණුයි. මීට මූලික හේතුව දූරදර්ශී නායකයින් කිහිප දෙනෙක් නිදහසේ මුල් යුගයේ මෙරට සිටීමයි. නමුත් අද තත්ත්වය මීට හාත්පසින් වෙනස්. උදාහරණයක් ලෙස මේ සාක්‍ෂරත්වයට සරිලන උසස් අධ්‍යාපනයක් අප රටේ තියෙනවද? ඊට සරිලන පුළුල් ඥාන සම්පාදනයක් රට තුළ තියෙනවද? මේ සියල්ල කරගන්න අවශ්‍ය ශිෂ්ඨසම්පන්න හා ඥානවන්ත දේශපාලන නායකත්වයක් අප රටේ තියෙනවද? 

ඉතින් මගේ අදහස නම්, 70 වන නිදහස් දිනය සමරණ විට යම් පැහිදිලි ජයග්‍රහණ අපි ලබා සිටියත්, සිටිය යුතු තැන අහලකවත් අපි නැති බවයි. නමුත් මේක අවස්ථා නොතිබුනු නිසා සිද්ධ වූ දෙයන් නොවේ. මේ අපේ පශ්චාත්-නිදහස් දේශපාලන නායකත්වයේ  දුර්වල කම නිසා සිද්ධ වූ දෙයක්.

රසික කොටුදුරගේ:
වැඩවසම්වාදී රජකු, ඒකාධිපති පාලකයකු, අපේක්ෂා කරන සිංහල බෞද්ධ විඥානයේ අනාගතය කුමක් විය හැකිද? 

සසංක පෙරේරා:
මේක අති භයානක ගැටළුවක්. ඒත් මේක සිංහල බෞද්ධ විඥානය පිළිබඳ ප්‍රශ්නයක් නෙවේ. මේක අපේ සමාජයේ පවතින දේශපාලන සාක්‍ෂරත්වයේ ඌනතාව හා ඥානයේ මන්දපෝෂණය නිසා ඇතිවූ තත්ත්වයක්. මේක අපේ ඇල්මැරුණු අධ්‍යාපනයෙන්  අපිට ලැබුනු මෝඩ අදහසක්. කාලයකට ඉහතදී වේළුපිල්ලේ ප්‍රභාකරන් උන්නැහේ සරණ ගිය දෙමළ තරුණ තරුණයින් උත්සාහ ගත්තෙත් ප්‍රජාතන්ත‍්‍රවාදය ඊලමේ ස්ථාපනය කරන්න නෙවෙයි. ඒ උදවිය උත්සාහ කළෙත් ප්‍රචන්ඩ ඒකාධිපතියෙක් රජකරවන්නයි. ඒ උත්සාහයෙයි ඔබ ඔය කියන සිංහල සමාජයේ ඇතැමුන් යෝජනා කරන ඒකාධිපතීත්වයයි අතර එතරම් වෙනසක් නැහැ. 

මේ උන්මාදයේ එක් ප්‍රභවයක් තමයි ප්‍රජාතන්ත‍්‍රවාදය නිසි ලෙස තේරුම් නොගැනීම. යටත්විජිතවාදීන් උරුම කරදුන් ප්‍රජාතන්ත‍්‍රවාදය අපේ කලාපයේ රටවල සියයට සියයක් නිසි ලෙස ක්‍රියාත්මක වෙලා නැහැ. ඊට හේතුව එතුළට අපේ සමාජවල තිබූ අනේක ගෝත‍්‍රවාද හා ආගම් වාද, අපේ සමාජවල නිදහසින් පසුව වඩාත් පැහැදිලිව වර්ධනවූ වංචා හා ආචරධර්ම විරෝධී දේශපාලනය වැනි දේ ඇතුලත් වී, ප්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික අභිලාෂ අවුල්කර දැමීමයි. 

අපි අතර දැන් තිබෙන්නේ වල්වැදුනු ප්‍රජාතන්ත‍්‍රවාදයක්. ඒත් මේ ගැටළුවට ප්‍රතිකර්මය ප්‍රජාතන්ත‍්‍රවාදය ප්‍රතිසංවිධානය කරගැනීම මිසක් ඒ වෙනුවට ඒකාධිපතීත්වයක් ආරෝපණය කරන එක නොවේ. ප්‍රජාතන්ත‍්‍රවාදී ක්‍රමයක තිබිය යුතු ඡන්ද විමසීම් වැනි සංස්ථාගත භාවිත සීමාවකින් එහා විනාශ කරන්නේ නැත්නම්, අවම තරමින් නොදියුනු ප්‍රජාතන්ත‍්‍රවාදී ක්‍රමයකින් වුනත් තම නායකයන් හා ආණ්ඩු වෙනස් කිරීමට හැකියාව තියෙනවා. නමුත් ඒකාධිපතීත්වයකින් මේ කිසිවක් කරන්න බැහැ. කව්රුහරි ගෙනත් දාගත්තොත් උන්දැගේ හත්මුතු පරම්පරාවම ජීවිත කාල ගනනාවක් රටක බල දුරාවලියේ ඉහළම තැන්වල ලගිනවා. ඒවා අරක්ගෙන ඉන්නවා. 

ෆිලිපීනයේ ෆර්ඩිනැන්ඞ් මාකෝස්, ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්, ලිබියාවේ මුඅම්මර් ගඩාෆි වැනි නොයෙකුත් ඒකාධිපතීන් ඒ ඒ රටවල රාජ්‍ය බලය අල්ලා ගත්තේ ‘සංවර්ධනය’ වැනි මන්තර නිතරම මතුරමින්. ඔවුන්ගේ ඒකාධිපති පාලනයේ මුල් යුගවල මෙන්ම ඔවුන්ගේ පාලනයේ යම් කාලයක් යන තුරු ඔවුන්ට සෑහෙන මහජන ප‍්‍රසාදයකුත් තිබුනා. ඒ එක්කම මහා පරිමාණ සංවර්ධන කටයුතුවලත් ඔවුන් නියැලූනා. නමුත් මේ සියල්ල කළේත්, දීර්ග කාලීනව තම බලය පවත්වාගෙන ගියේත් සමස්ථයක් වශයෙන් මානව නිදහස මෙන්ම සිතීමේ නිදහසත් සම්පූර්ණයෙන්ම යටපත් කරලා. මේවැනි උදාහරණ ලෝක ඉතිහාසයෙන්  ඕනෑ තරම් සොයා ගන්න පුළුවන්.

අප අතරත් ඉන්න සමහර අදූරදර්ශී නායකයින් හා සාමාන්‍ය ජනතාවගෙන් සෑහෙන කොටසකුත් ඉල්ලා හිටින්නෙත් මේ දේම තමා. ඒ මූලික වශයෙන් සංවර්ධනයේ නාමයෙන්. නමුත් අපේම මෑතකාලීන ආන්ඩු රටට ගෙන දුන් භෞතික සංවර්ධනය හා මතුපිට ස්ථාවරත්වය අපි මනින්න  ඕනෑ එයින් යටපත් කලේ මොනවාද, එයින් හොරකම් කලේ මොනවාද හා කාගේ යහපත සඳහාද කියන කරුණුත් එක්කයි. 

රසික කොටුදුරගේ:
1818 නිදහස් සටන ඇතිවෙලා මේ අවුරුද්දට වසර 200ක් වෙනවාග ඒගැනත් සඳහනක් කරන්න.

සසංක පෙරේරා:
1818 කැරැල්ල මා දකින්නේ අපේ රටේ දේශපාලන ඉතිහාසයේ කේන්ද්‍රීය අවස්ථාවක් ලෙසයි. එක් අතකින් අපිට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ගන්න සිදුකළ, මූලික වශයෙන් මධ්‍යම පාන්තික දේශපාලන අරගලයක් වූ නිදහස් සටනට වඩා 1818 කැරැල්ල වැදගත්. නිදහස් සටන ව්‍යවස්ථා සංශෝධනය හරහා නිදහස වෙත ලංවෙන්න උත්සාහ ගත් මූලික වශයෙන් සාමකාමී අරගලයක්. ඒ වෙනුවෙන් අපේ ඇතැම් නායකයින් හිරේ විලංගුවේ නොවැටුනා නොවෙයි. නමුත්, ඒ නිසා ඒ නායකයින්ට තමන්ගේ ජීවිත හෝ දේපොළ පිළිබඳ විශාල තර්ජනයක් යටත් විජිත ආන්ඩුවෙන් ප්‍රභලව එල්ල වුනේ නැහැ. 

1818 කැරැල්ල මීට වඩා සහමුලින්ම වෙනස්. එහි නායකයින්ට හා ඊට සහභාගී වූ අන් අයට ඔවුන්ගේ ජීවිතවලට මෙන්ම දේපොළවලට මුල සිටම තර්ජන තිබුනා. කැරැල්ලේ නායකයෙක් වූ කැප්පෙටිලපොල දිසාවගේ ජීවිතය දිහා බලන්න. ඔහු උඩරට ගිවිසුමට අත්සන් කළ, අපේ අවසන් රජතුමා බ්‍රිතාන්‍යයන්ට අල්ලා දෙන්නට උදව් කළ හා රට සුද්දන්ට පවරා දෙන්න කටයුතු කළ නායකයින්ගෙන් එක් අයෙක්. මේ තත්ත්ව යටතේ යටත් විජිත ආණ්ඩුවෙන් ඔහුට කිසිම තර්ජනයක් තිබුනේ නැහැ. ඒත් රටේ තත්ත්වය තේරුම් ගත් ඔහු හා එම කැරැල්ලේ අන් පාර්ශ්වකරුවන් කැරැල්ල නිසා තම ජීවිතවලට, තම පවුල්වලට හා දේපොළවලට වන විනාශය ගැන නොහිතා තමයි කැරැුල්ල දියත් කලේ. 

හැබැයි රට ජාතිය ගැන කොච්චර බෙරිහන් දුන්නත්, මේ වගේ පරාර්ථකාමී නායකයින් අපේ ප්‍රධාන පෙලේ දේශපාලන ප්‍රවාහය තුළ අද කාලයේ දකින්න නැහැ. ඒත් මෙහෙම සිතන රටවැසියන් අතලොස්සක් හෝ ඉන්න බවත් මා හොදින් දන්නවා. එහෙම අය දැනට පවතින ආචාරධර්ම විරෝධී හා වනචාරී දේශපාලනය පරදවන්න සූදානම් නම්, ඒ උදවියට අතහිත දීම අපේ යුතුකමක් කියලයි මා හිතන්නේ.
(මේ සම්මුඛ සාකච්චාවේ සාරාංශයක් පෙබරවාරි 1 දින දරන සිළුමිණ පුවත්පත්‍රයේ පළවීය. ඊට මෙතනින් පිවිසිය හැක.)

No comments:

Post a Comment