I am what I am; I will be what I will be.

Saturday, November 4, 2017

සාහිත්‍යය සම්මාණ, ඇගැයීමේ වතාවත් හා ශ්‍රී ලාංකේය ඉංගිරිසි නිර්මාණාත්මක රචනාකරණය



සටහන: මේ ලේඛණය 2016 ග්‍රේශන් සම්මාණ පිළිගැන්වීමේ උත්සවයේදී 2017 මැයි  27 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කළ කථාවේ වඩාත් දීර්ග සංස්කරණයේ සිංහල පරිවර්තයයි. 

විනිශ්චයකරුවන් මුහුනපෑ ගැටලු 

වසර 2016 සදහා පිරිනමණ ග්‍රේශන් සම්මාණයේ විනිශ්චයකරුවන් වශයෙන්, සම්මාණ සඳහා ඉදිරිපත් කර තිබූ රචනා පිළිබඳ තීරණ ගැනීමේදී  මුහුණ පෑ ගැටලු පිලිබදව කථා කිරීමේදී මා මේ අදහස් ඉදිරිපත් කරන්නේ මා සමග කටයුතු කළ අන් විනිසුරුවන් දෙදෙනා වන චන්දන දිසානායක හා රුහානි පෙරේරා යන දෙදෙනොද වෙනුවෙනුයි. මේවා අපගේ සාමූහික අදහස් වශයෙන් සැලකිය හැකියි. 

දශක දෙකකට වැඩි කාලයක් මුලුල්ලේ ග්‍රේශන් සම්මානය ශ්‍රී  ලංකාවේ සිටින ඉංගිරිසියෙන් රචනාකරණයේ යෙදෙන ලේඛකයින් ඇගැයීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇත. සැබැවින්ම, මේ ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යා යුතුයි. අපි අප්‍රේල් මාසයේ පැවති අවසන් වටයට තේරුණ රචනා දැනුම්දීමේ උත්සවයේදී ද පැවසූ පරිදි, එකිනෙකින් වෙනස් වූ නිර්මාණාත්මක රචනා ප්‍රවර්ග සදහා ඒ වෙනුවෙන්ම සැකසූ ඇගැයීමේ ක්‍රියාවලීන් ස්ථාපනය කිරීම වඩාත් සුදුසුය. සිංහලයෙන් හෝ දමිල බසින් ඉංගිරිසියට නගන රචනා සදහා ග්‍රේශන් පදනම මගින්ම පිරිනමණ එච්. ඒ. අයි. ගුණතිලක සම්මාණය මේ සදහා සුදුසු ආකෘතියක් බව අපේ විශ්වාසයයි. මූල්‍යයමය වශයෙන් මෙසේ එකිනෙකින් වෙන් වූ ඇගැයීමේ ක්‍රියාවලීන් ස්ථාපනය කිරීම යම් දුරකට අපහසු කටයුත්තක් වුවද මෙය කළ නොහැක්කක් නම් නොවේ. නමුත් ඒ සදහා සමාන අදහස් හා අරමුණු දරණ අන් පුද්ගලයින් හා කණ්ඩායම් සමග එක්ව කටයුතු කිරීමට අපට කැමැත්තක් තිබිය යුතුයි. මේ සහජීවණයේ මූලික අරමුන මූල්‍ය වියදම් යම් ලෙසකින් සමව බෙදා ගැනීමයි.

මෙලෙසින් ඇගැයීමේ ක්‍රියාවලිය සවිඥානිකව වඩාත් බහුවිධ කළ හැකිනම්, දැනට එතුලට අනිවාර්යයෙන් ඇතුලුවන අභිනතීන් පාලනය කළ හැකියි. දැනට ඇති ප්‍රධානතම ගැටලුව නම් ක්‍රියාවලියේ ඇති අතිශය විවෘත භාවයයි. මේ නිසා විනිසුරුවන්ට එකිනෙකට බෙහෙවින් වෙනස් වූ රචනා ප්‍රවර්ග අතර නිරතුරුවම හා ප්‍රවේශමෙන් තරණය කිරීමට සිදුවේ. එසේ කර, අපගෙන් සාධාරණ විනිශ්චයක් ද බලාපොරොත්තු වේ. එනමුත් මේ ක්‍රියාවලිය සැමවිටම සාධාරණව හෝ නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ නැත. මක්නිසාද යත් කාව්‍ය, කෙටිකතා, නවකතා හා අන් රචනා ප්‍රවර්ග ඇගැයීම එකම මිනුම් පද්ධතියකින් කළ නොහැකි වීමත්, කෙතරම් උත්සාහ කළද එවන් සම්මිශ්‍රිත ඇගැයීමේ ක්‍රියාවලියක ඇතුළත් අත්‍යන්ත ගැටලු නිරවුල් කිරීමේ අපසහසුවත්ය. දැනට පවතින ඇගැයීමේ ක්‍රමය තරඟකරුවන්ගේ මෙන්ම විනිසුරුවන්ගේද ජීවිත බෙහෙවින් සංකීර්ණ කරයි. 

පරමාදර්ශීයව නම්, එක් එක් රචනා ප්‍රවර්ගය ඇගැයීමේ පුලුල් නිර්ණායක විධිමත්ව  හා පැහැදිලිව නිර්වචනය කර තිබීම මෙන්ම, එම කොන්දේසි ප්‍රසිද්ධ අවකාශයේ තිබීමත් අත්‍යාවශ්‍යයයි. එසේ තිබේ නම්, තම රචනා අගයන්නේ කෙසේදැයි තරඟකරුවන්ට යම් ආකායෙක පූර්ව දැනුමක් ලැබෙනු ඇත. එසේ නමුත්, යම් පැහැදිලි සීමා තුළ අවශ්‍ය විට යම් දුරකට නිර්මාණාත්මක තීරණ ගැනීම සදහා අවශ්‍ය නම්‍යතාවද මෙවන් පද්ධතියක් තුළ තිබිය යුතුය. වෙනත් ලෙසකින් පවසන්නේ නම්, දැනට පවතිනවාට වඩා ඇගැයීමේ ක්‍රියාවලිය විනිවිද පෙනෙන මෙන්ම දැඩි විය යුතු අතරම, ඒහා බැඳුනු නම්‍යතා විභවයන්ද තිබිය යුතුය.

එමෙන්ම, අපගේ විශ්වාසයට අනුව, ග්‍රේශන් සම්මාන ක්‍රියාවලිය  මෙන්ම අප රටේ ක්‍රියාත්මක වන එවන් අන් ඇගැයීමේ පද්ධතීන් තමන්ගෙන්ම ඇසිය යුතු වැදගත් මූලික ප්‍රශ්න දෙකක් තිබේ. 
1) එනම්, ඔවුන් සම්මාන ප්‍රධානය කළ යුත්තේ ගෝලීය රචනා ප්‍රමිතීන් හා කොන්දේසි අනුව යමින් අප රටේ ලියැවෙන අග්‍රතම රචනයන්ටද?  
2) නොඑසේ නම්, මේ තීරණ ගත යුත්තේ හුදෙක් දේශීය හෝ පරිස්ථානීය තත්ත්ව පමණක් සැලකිල්ලට ගණිමින්ද? 
අප දෙවන ප්‍රශ්නය සරණ යන්නේ නම්, එවන් තත්ත්ව තුළ විනිසුරුවන්ට ගෝලීය ප්‍රමිතීන්  බෙහෙවින් රැඩිකල් අකාරයකින්, නැතිනම් පටිසෝතගාමී ලෙස පහත හෙලන්නට බොහෝ විට සිදුවනු ඇත. ඒ තමන්ගේ හෘද සාකෂ්‍යයට හා පුද්ගලික විනිශ්චයට විරුද්ධව යමින්, තම සමාජ-සංස්කෘතික සන්ධර්භය අවට පවත්නා ඊනියා පරිස්ථානීය තත්ත්ව හා ගතික ආමන්ත්‍රනය කිරීම සදහාය. තත්ත්වය මෙය නම්, එය කිසි විටෙකත් අප රටේ නිර්මාණනීය රචනාකරණයේ අනාගතය සදහා නම් සුභදායක නිමිත්තක් වන්නේ නැත.

ග්‍රේශන් පදනම තම 25 වන සංවත්සරය මේ වසරේ සමරණ්නට යෙදී ඇත. මේ සංවත්සර කාලයේ ග්‍රේශන් පදනමේ බලධාරීන් තම සංවිධානයේ  බෙහෙවින් වැදගත් ආයතනික ඉතිහාසය සංවිඥානිකව ආවර්ජනය කරණ අතරම, මෙතෙක් අප සදහන් කළ කරුණු ද සැලකිල්ලටෙ ගෙන, ඒවා පිළිබඳව ගැඹුරින් සිතා බලනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි. එසේ කරන්නේ නම්, අප රටේ නිර්මාණාත්මක රචනාකරණය ඇගැයීම සඳහා වඩාත් සාධාරණ ක්‍රියාවලියක් ගොඩනගා ගත හැකිය යන්න අපගේ බලාපොරොත්වයි.

අප රටේ නිර්මාණාත්මක රචනාකරණය

ගද්‍ය සාහිත්‍යය වෙත අවධාණය යොමු කරමින් ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක රචනාකරණයේ තත්ත්වය පිලිබද කෙටි ආවර්ජනයක නිරතවීමට මා කැමතියි. එනමුත් මා සිතනාකාරයට ගද්‍ය සාහිත්‍යය පිලිබදව මට පැවසීමට ඇති දේ අන් රචනා ප්‍රර්ග සම්බන්ධයෙන්ද යම් දුරකට සාමාන්‍යකරණය කළ හැකියි. මාගේ අදහස් පදනම්ව ඇත්තේ පසුගිය දශක දෙකක පමණ කාලය තුළ සාමාන්‍ය පාඨකයෙකු වශයෙන්  ශ්‍රී ලාංකේය ඉංගිරිසි හා සිංහල නිර්මාණ සාහිත්‍ය මා කියවා තේරුම් ගත් ආකාරය මත මිස, 2016 ග්‍රේශන්  සම්මාණය සදහා ඉදිරිපත් වූ නිර්මාණ පිළිබද කියවීමක් මත නොවේ. මාගේ අදහස් මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ ඉංගිරිසි රචනාකරණය කේන්ද්‍රකරගනිමින් ඉදිරිපත් වුවද, ඒවා සිංහල නිර්මාණ සාහිත්‍ය වෙතද බොහෝදුරට ව්‍යාප්ත කළ හැකියැයි මා විශ්වාස කරමි. එමෙන්ම, මේවා හුදෙක් මාගේ අදහස් පමණක් ලෙස සැලකිය යුතුයි. මේ අදහස් හා අද දින මා පැවසීමට ඉඩ තිබෙන ජනප්‍රිය නොවන අදහස් සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ලේ මා හා කටයුතු කළ සහෘදයන් දෙපොළ ගාවා ගැනීම මගේ අරමුණ නොවේ.

බොහෝ කලක සිට නිරතුරුවම මගේ සිතට නැගී ඇති පැනයක් වන්නේ ගාබ්‍රියෙල් ගාසියා මාකේස්, උම්බර්තෝ ඊකෝ, පැබ්ලෝ නෙරූදා, ෆයිස් අහ්මඞ් ෆයිස්, රොහින්තන් මිස්ට්‍රි, සල්මාන් රුශ්ඩි, එලිෆ් ශෆාක්,  ඕරන් පමුක් වැනි ලේඛක-ලේඛිකාවන්   තත්කාලීනව ශ්‍රී ලංකාව විසින් උත්පාදනය කර නැත්තේ ඇයිද කියාය. ඇත්තෙන්ම, මේ ලේඛක ලේඛිකාවන් හුදෙක් මගේ විෂයානුබද්ධ කියවීම් හා රුචිකත්වය මත පමණක් පදනම් වූ වරණයන්ය. එනමුත් මේ සියලු දෙනාම ලොව නන් ප්‍රදේශවලින් බිහිවූ ගෝලීය මට්ටමින් පිළිගැනීමට පාත්‍ර වූ ලේඛකයින්ය. මේ ලැයිස්තුවට මෙවන් අන් බොහෝ දෙනාද ඇතුලත් කළ හැක. 

මා මෙවන් විවාදාපන්න ප්‍රශ්නයක් නගන විට, එතුලම ඇතුලත් වූ තවත් අත්‍යන්ත අනු-ප්‍රශ්නයක් ද තිබේ. එනම්, කෙටිකථා, නවකථා ආදී කුමන රචනා ප්‍රවර්ගයකට හෝ අයත් අපගේ නිර්මාණ සාහිත්‍යය සාමාන්‍ය වශයෙන් ගත් කළ, ඒවා බොහෝ විට ගෝලීය ප්‍රමිතීන් හා විශේසයෙන් ගෝලීය පිළිගැනීම සම්බන්ධයෙන් මෙතරම් පසුගාමී තත්ත්වයක පසුවන්නේ මන්ද කියාය. එකිනෙක හා සමීපව බැඳී ඇති ගැටලුකාරී ක්ෂේත්‍ර හතරක් වෙත අවධානය යොමු කරමින් මේ පැනයට පිළිතුරු සැපයිය හැකිය යන්න මගේ විශ්වාසයයි:

1) පළමු ගැටලුව නිර්මාණ කෘතියක් බිහිකිරීම සදහා ලේඛකයෙකු යොදන කාලය හා අතිශයින් පුලුල් වූ නිර්මාණ සාහිත්‍ය ලෝකය වෙත එම ලේකඛයා විවරවී ඇති ස්වභාවය හා බැඳී පවතී 
2) දෙවන ගැටලුව නිර්මාණ කෘතියක් සදහා භාවිත කරන භාෂාව, නැතිනම් බස හසුරුවන අකාරය හා බැඳී පවතී. 
3) තෙවන ගැටලුව නිර්මාණ කෘතියක කථා වස්තුව සහ ඒ හා සම්බන්ධ අදහස් ගලපා ගැනීමේදී මතුවන පරිකල්පනයේ සීමාසහිත බව හා බැඳී පවතී. 
4) සිව්වන ගැටලුව මතුවන්නේ නිර්මාණ කෘතියක් ලිවීමේදී පර්යේශණ සඳහා දක්වන අවම උනන්දුව හා වඩාත් පුලුල් වූ දැනුම් පර්ශද වෙත යොමු වීමට දක්වන දැඩි අකමැත්ත, අලසකම හෝ නොහැකියාව සම්බන්ධයෙනි.
මේ ගැටලුකාරී ක්ෂේත්‍ර  හතරම අත්‍යන්ත ලෙස එකිනෙක හා බැඳී තිබේ. එනිසාම, එක් ක්ෂේත්‍රයකට යම් අඩු අවධානයක් ලැබෙන්නේ නම්, එය අන් ක්ෂේත්‍රවලට මෙන්ම, සමස්ථයක් වශයෙන් මුලු මහත් කෘතියටම නිශේධනීය ලෙස බලපෑම් කරයි.


නිර්මාණ කෘතියක් බිහිකිරීම සදහා ලේකඛයෙකු යොදන කාලය පිළිබඳ ගැටලු

සාමාන්‍ය වශයෙන්,  ශ්‍රී ලාංකේය නිර්මාණ සාහිත්‍යය (ගද්‍ය) කියවීමේ දී බොහෝ කතුවරුන් තම රචනාවල ව්‍යුහය හා තොරතුරු සම්පාදනය කිරීමේ දී ඊට අනිවාර්යයෙන් යෙදවිය යුතු කාලය යොදන්නේයැයි මට හැගෙන්නේ නැත (එනමුත් සිංහලයෙන් හා ඉංගිරිසියෙන් ලිවීමේ යෙදෙන ඇතැම් කවීන් සමස්තයක් වශයෙන් ගද්‍ය රචකයින්ට වඩා  සාර්ථක බව මගේ පිළිගැනීමයි).  බොහෝ දෙනාට තම රචනා කඩිමුඩියේ ලියා නිම කර, කොහෙන් හෝ ඒවා පළකර, ලහිලහියේ ඒ සඳහා සම්මාණයක් හෝ දෙකක් ද ලබා ගැනීමට ඉස්පාසුවක් නොමැති බවයි බොහෝ විට පෙනෙනුයේ. මේ සන්ධර්භය තුළ නිසියාකාර විමර්ශණ පිළිවෙත් පිළිපදින, නුසුදුසු කෙටුම්පත් පැහැදිලි ලෙස ප්‍රතික්‍ෂ්ප කරණ වෘත්තීයමය ප්‍රකාශන ව්‍යාපාරයක් අප රටේ නොමැතිවීමද බලවත් ගැටලුවකි. අප මැනැවින් දන්නා පරිදි, කෙටුම්පතක් ප්‍රකාශයට පත්වේද යන්න බොහෝ විට පදනම් වන්නේ ලේඛකයෙකු ප්‍රකාශකයින් සමග ඇති පුද්ගලික සම්බන්ධතා සහ එම ප්‍රකාශකයින්ගේ වෙළඳ අවශ්‍යතා මතය. මේ තත්ත්ව තුළ රචනයක ගුණාත්මක වටිනාකම එතරම් වැදගත් වන්නේ නැත. එනම්, රචනයකට ගතකළ යුතු කාලය හා උත්සාහය මෙන්ම අන් පූර්ව-කොන්දේසි ද සම්පූර්ණ නොකළ නිසා අත්‍යාවශ්‍ය ගුණාත්මක කඩඉම් නොඉක්මවූ අවරගණයේ පොත්පත් ඉතා පහසුවෙන් පළකර ගැනීමේ පහසු හැකියාවක් අද දින අප රටේ පවතී. 

අනෙක් අතට, බොහෝ දෙනෙකුට පුලුල් ලෙස කියවා තමන්ගේ දැනුම හා ඥානය පිලිබද නිම්වලලු පුලුල්කරගැනීමේ උනන්දුවක් ඇති බවක් ප්‍රකාශයට පත්වූ නොයෙකුත් පොතපත කියවා බැලූ විට පෙනෙන්නට නැත. මාගේ තේරුම්ගැනීම නම්, මෙය ලේඛකයින් මෙන්ම අන් බොහෝ දෙනාද සාමාන්‍ය වශයෙන් පෙළෙණ ව්‍යාදියක්ය යන්නයි. ෆර්නැන්ඩෝ පෙසෝවාගේ  The Book of Disquiet යන කෘතිය කියවන්නෙකුට, එහි පිටු 260 පමණ පරාසය මුලුල්ලේ විසිර ඇති, ෆිලිප් පුල්මන් විසින් ‘‘අභිරහස්, සැක-සාංකා, කඳුලු හා සිහින සහ විස්මිත දෑ’’ (“… Mysteries, misgivings, tears and dreams and wonderment …”) ලෙස විස්තර කර ඇති කතාවේ සාරය නොදැනේවිද? වික්රම් චන්ද්‍රගේ  Red Earth and Pouring Rain යන ඔහුගේ පළමු නවකතාව කියවූවොත් ඔහුගේ උත්කෘශ්ඨ ආඛ්‍යාන විලාසය පැහැදිලිවම විෂද වනු ඇත. ඇඩම් තෝර්ප් චන්ද්‍රගේ නවකතාවට සාපේක්‍ෂව බ්‍රිතාන්‍ය නවකතාකරුවන්ගේ රචනා උගුරේ හිරවූ කෑරිල්ලකට සමාන කළේ මේ තත්ත්වය තුළය (“Makes its British counterparts look like apologetic throat-clearings”).  මෙලෙසින්ම, උම්බර්තෝ ඊකෝගේ Prague Cemetery  නවකතාව 19 වන සියවසේ සමාජ-දේශලපාලනික තත්ත්ව මැනැවින් ආමන්ත‍්‍රණය කරයි. ඒ අතර කතෝලික ජෙසුයිට් මතදාරීන් ෆ්රීමේසන්වරුන්ට එරෙහිව දියත්කළ කුමන්ත්‍රණ වල සිට, ඉතාලියානු ජනපද මතදාරීන් කතෝලික පූජකයින්ගේ ගෙල ඔවුන්ගේම බඩවැල්වලින් සිරකර ඝාතනය කර දැමීම දක්වා විහිද යන  ඉතිහාසමය විස්තරකථනවලින් අනූනය. 

මේ සියලුම කෘති අපගේ මතකයේ පැලපදියම්වන අගනා නිර්මාණ සාහිත්‍යමය උදාහරණ බවට පත්වන්නේ ඒවායේ කතුවරුන් තම කලාව ඔපකිරීම සඳහාත්, තම ආඛ්‍යාන ශෛල්‍යය ප්‍රගුණ කිරීම සඳහාත්, කතාවලට අවශ්‍ය පසුබිම ගොඩනැගීමට දියත්කළ පර්යේශණ සඳහාත් ගතකළ අත්‍යවශ්‍යය කාලය නිසාය. 

ගෝලීයව මේ වන විටත් පුලුල්ව පිළිගෙන ඇති මෙවැනි නිර්ණායක දේශීය වශයෙන් අප ලියන රචනා දියුණු කිරීම සඳහා යොදා නොගන්නට කිසිදු හේතුවක් නැත. අද පවතින දේශීය තත්ත්ව තුළ, අපගේ දූපත් මානසිකත්වයෙන් මොහොතකට බැහැරට ගොස්, බැලූ බැල්මට කිසිදු පාඨාන්තරීය මූලාශ්‍රයක උත්තේජනයක් නොලැබ, මහා හදිසියේ ඔහේ ලියා පලකළ අපගේ ඇතැම් රචනා ගෝලීය සන්දර්භයක ස්ථානගතකළහොත්, එම කෘතිවලට කුමක් සිදුවේද? ලංකාවේ මෙන්ම ඒවාට එකී නොකී සම්මාණ ලහිලහියේ ලැබේද? ඒවායේ කතුවරුන්ට අනන්ත නම්බු නාම ලැබේද? එනම්, වඩාත් තරඟකාරී හා පැහැදිලි නිර්ණායක මගින් සළකුණු කළ වාතාවරණයක් තුළ, එම කෘතීන්ට ගෝලීය සම්මාණ හා පිළිගැණීම් ලැබේද? අනෙක් අතට, ලංකාව තුළම ඉතා පහසුවෙන් මෙවන් දේ ලබාගැනීමේ පහසුව තිබියදී ජාත්‍යන්තරව මෙවන් පිළිගැණීම් උදෙසා නිකරුනේ ලතවන්නේ මන්දැයි යමෙකුට සිතෙනු ඇත.

මේ ප්‍ර ශ්නවලට මා පිළිතුරු ලබාදෙන්නේ නැත. මේවා අනිවාර්යයෙන් ඇසිය යුතු ප්‍රශ්න යැයි ඔබ සිතන්නේ නම්, ඒවාට පිළිතුරු දීමේ හැකියාවද ඔබටම විවර වනු ඇත.

නිර්මාණ කෘතියක් සම්පාදනයේදී බස හසුරුවන අකාරය හා බැදී පවතින ගැටලු 


මූලික වශයෙන්, දැනට මා කියවා ඇති ශ්‍රී ලාංකේය නිර්මාණ සාහිත්‍ය කෘති බොහෝමයක බස හැසිරවීම සම්බන්ධයෙන් තීව්‍ර උනන්දුවක් හෝ ඒ පිළිබඳ ලාලසාවක් මා දැක නැත. එමෙන්ම, එක් එක් රචනා ප්‍රවර්ග  සම්බන්ධ රැඩිකල් පර්යේෂණාත්මක ප්‍රවේශයන්ද මා දැක නැත. 

මා මේ පවසන්නේ හුදෙක් නිසි ලෙස ව්‍යාකරණ හැසිරවීම හෝ අක්‍ෂරවිණ්‍යාස භාවිතය පිළිබඳව හෝ නොවේ. බොහෝ අවස්ථාවල යොදා ඇති බස අතිශයින් සීමිත වූ ශබ්දකෝශයක ආනිශංස නිසා බෙහෙවින් සරල හෝ සමාන්‍යය තත්ත්වයක් පෙන්නුම් කරයි. නොඑසේ නම්, එය කට්ට කම්මැලි වියලී ගිය බස්වහරකි. තවත් විටෙක, අත්‍යාවශ්‍ය පසුබිම් හෝ චරිත සම්පාදනය කරන්නට, සමස්ථයක් වශයෙන් කතාව වරනැගීමට හෝ සංවාද ගොඩනැංවීම සඳහා අවැසි විස්තර ඉදිරිපත් කරන්නට අවශ්‍යය කාලය හා උත්සාහය ගෙන නැත. නැතහොත්, යොදාගෙන ඇති බස බෙහෙවින් හති දමා තටමන ලද බවක් පෙන්නුම් කරන,  අනවශ්‍ය වචන හා වැල්වටාරමින් ගහණ භාශාවකි. සමස්ථයක් ලෙස බලන විට, බොහෝ කෘති තුළ නිර්මාණාත්මක ලෙස නොයෙකුත් රචනා ආකෘති සමග කරණ ගණුදෙනු සම්බන්ධයෙන් ආවර්ජනාත්මකව සිතාබලා ඇති බවක් ද නොපෙනේ. 

තවද, එකම කෘතියකදී නොයෙකුත් රචනා ප්‍රවර්ග හරහා නිර්මාණාත්මක ලෙස කටයුතු කරන්නටද උනන්දුවක් ඇති බැව් නොපෙනේ. මා සිතනාකාරයට නම්, මේ සියලු ඌනතා මතුවන්නේ භාෂාව හුදෙක් ප්‍රාථමික කටයුත්තක් වන සන්නිවේදනය සඳහා වූ සරල මෙවලමක් පමණක් සේ සැලිකීම නිසා, එහි අඩංගු වියයුතු ලාලසාව, වර්ණය, චිත්තවේගීය හැඟීම්, පරිකල්පනය හා දැනීමේ හැකියාවන් ඉන් ගිලිහී යාමය. සල්මාන් රුශ්ඩිගේ The Enchantress of Florence නවකතාවේ ඉංගිරිසි මුල්කෘතියේ දැකගත හැකි පහත සඳහන් පෙළ වැනි යෙදුම් අපගේ රචනාවල නිරතුරුවම දැකගත හැකිද?
"A week after his final refusal, Marco Vespucci hanged himself. His body dangled from the Bridge of Graces, but Alessandra Fiorentina never saw it. She braided her long golden tresses at her window and it was as if Marco, the Fool of Love were an invisible man, because Alessandra Fiorentina had long ago perfected the art of seeing only what she wanted to see, which was an essential accomplishment if you wanted to be one of the world’s masters and not its victim. Her seeing constructed the city. If she did not see you, then you did not exist. Marco Vespucci dying invisibly outside her window died a second death under her erasing gaze (මේ චේදයේ ඇති භාෂාමය, රූපක හා සන්නිවේදනීය ලක්ෂණ ආරක්ෂා වන පරිදි සිංහලයට නැගීමට අවශ්‍ය පුහුණුව හා හැකියාව මට නැත. එනිසා, ඉංගිරිසි මුල් කෘතියේ එන පෙළ මෙහිදීද එලෙසම යොදා ඇත.)
මේ කරුණ පිළිබඳව තවදුරටත් කථාකිරීම අවශ්‍යයැයි මා සිතන්නේ නැත. එනමුත්, නිර්මාණ සාහිත්‍යය පාඨණයේ යෙදෙන සහෝදර පාඨකයින් වශයෙන් මාගේ සාංකාවට හේතු ඔබට වැටහෙන්නේය යන්න මගේ විශ්වාසයයි.

පරිකල්පනයේ සීමිතබව  හා බැඳී පවතින ගැටලු 

සුපැහැදිලිව නිර්මිත ඉතිහාසමය හෝ මිත්‍යාමය යුග හා බැඳීපවතින ගද්‍ය සාහිත්‍ය පිළිබඳව මෙනෙහි කිරීමේදී මසිතට නිරතුරුවම උදාහරණ වශයෙන් ගලා එන්නේ මාකේස්ගේ One Hundred Years of Solitude, ඊකෝගේ Prague Cemetery, එලිෆ් ශෆාක්ගේ The Architect’s Apprentice, ඔරාන් පමුක්ගේ The Museum of Innocence යන නවකතාය.  මේවා හුදෙක් මාගේ මතකය තුළ පැලපදියම් වී තිබෙන අසම්බන්ධිත මූලාශ්‍රයන්ය. නමුත් ඒ සියල්ලම ඉතිහාසය, අතීතය හෝ මතකය පිළිබඳ අදහස් තම කතා වස්තු හා ආඛ්‍යාන ගොඩනැගීමේදී සූක්‍ෂම පරිකල්පණයක් ද පෙරදැරිකරගෙන ඉදිරිපත් කරන්නට සමත් වූ කෘති සඳහා සාර්ථක උදාහරණ සපයති. ඒවා මගේ මතකයේ රැඳී තිබෙන්නේද ඒ නිසාමය. එමෙන්ම, මේ හා සමාන උදාහරණ ගෝලීය නිර්මාණ සාහිත්‍යයෙන්  ඕනෑතරම් සොයා ගත හැකිය.

අපගේ ලිඛිත ඉතිහාසමය මූලාශ්‍ර නිර්මාණ සාහිත්‍යයට සමාරම්භයක් සැපයිය හැකි බෙහෙවින් උනන්දුසහගත හා ඇතැම්විට ගුප්ත කරුණු කාරණාවලින් පිරී පවතී. මේවා පරිකල්පණීය ලෙස තෝරා බේරාගෙන සාහිත්‍යමය වශයෙන් දියුණු කළහැකිනම්, ඒවාට ඉතිහාසමය වාතාවරණයක් මත පදනම් වූ අනර්ඝ නිර්මාණ සාහිත්‍යයකට ජීවය දිය හැකි බව මගේ විශ්වාසයයි. එනමුත් ගැටලුව වන්නේ මෙවන් තත්ත්ව තුල අප අනිවාර්යයෙන් ඇසිය යුතු ප්‍රශ්න නොඇසීමත්, යම් සාධාරණ සීමා තුළ අපගේ පරිකල්පණය විකසිත වීමට අවකාශ නොදීමත්ය. උදාහරණයක් වශයෙන්, අපගේ නවකතාකරුවෙකු පහත සඳහන් ප්‍රශ්නය නොඅසන්නේ මන්ද?: 
ඉතිහාසය පිළිබඳ පවතින ප්‍රධානතම මූලාශ්‍ර දීපවංශය, මහාවංශය හා චූලවංශය වැනි වංශ කථා පමණක්මද?
මේ පැනයේ ව්‍යුහය තුළ අපට පහත සඳහන් ආකාරයේ නිර්මාණ සාහිත්‍යයමය පැනයක් මතුකරගත නොහැකිද? කිසිවෙකුවත් නොදන්නා, අපගේ ඉතිහාසය සවිස්තරාත්මකව ලියැවුණු ලේඛනයක් ඉතා ඈත අතිතයේ දේශීය කලබගෑනි සමයක සංඝයාවහන්සේලා විසින් භාරතයේ නාලන්දා සරසවියට ආරක්‍ෂාව සඳහා ගෙනගියා යැයි පරිකල්පණය කරමු.  එය චීනයේ සිට නාලන්දාවට බුදුදහම හැදෑරීමට පැමිණ, භාරතයේ හා අන් දකුණු ආසියානු ප්‍රදේශවල දහඅට වසරක් සංචාරය කර නැවත චීනයට යන විට, චීන හිමිනමක් වන සුඅන්-සන් ස්වාමීන් වහන්සේ ගෙන ගොස්, උන්වහන්සේගේ පන්සලේ අන් ලේඛන ද අතර තැන්පත් කළා යැයි සිතමු. මේ අතර නාලන්දා පුස්ථකාලය, සරසවිය හා විහාරාරාම සංකීර්ණය විනාශවී ගිය බව ඉතිහාසමය වශයෙන් අප හොදින් දන්නා කරුණකි. ඈත අතීතයේ දකුණු ආසියාව පුරා විසිරී තිබූ බෞද්ධ ගොඩනැගිලි සංකීර්ණ පිලිබඳ වඩාත් පරිපූර්ණ විස්තර අපට අද දින ද ලැබෙනුයේ ඉතිහාසමය චරිතයක් වූ සුඅන්-සන් හිමිනමගේ චාරිකා සටහන්වලිනි. උන්වහන්සේගේ සටහන්වලට අනුව, ලක්දිවට පැමිණීමට පෙරුම්පුරමින් සිටියද එය කළ නොහැකි වීය.

මේ ඉතිහාසමය හා පරිකල්පිත තත්ත්ව තුළ අපට පහත සඳහන් ආකාරයේ නිර්මාණයක් රචනා කළ නොහැකිද? එනම්, චීනයේ සිශුවාන් ප්‍රදේශයේ ඇති පැරණි, කාටත් අමතක වී ගිය පන්සලක පුස්ථකාලයේ සියවස් ගණනක දූවිල්ලෙන් වැසී ගිය මේ ඉතිහාසමය වාර්ථාව සොයා ගතහොත්, අපගේ ඉතිහාසය සහමුලින්ම වෙනස්වී යනු ඇතැයි යන්න මේ නිර්මාණයේ ප්‍රධාන ආඛ්‍යානය විය හැකියි. එවන් කෘතියක් අතීතයට, තත්කාලීන දේශපාලනයේ අනේක පැතිකඩ වෙත හා මිත්‍යාමය ලෝකය හා භක්තිය පිළිබඳ අදහස් වෙත ද අප කැඳවාගෙන යන උනන්දුසහගත කෘතියක්  වීමට ඉඩ ඇත. නමුත් මේ නිර්මාණ ව්‍යායාමය සිදුවිය හැක්කේ නිසියාකාරව නිර්මණාත්මක පරිකල්පණය ව්‍යාප්තවීමට අපට ඉඩදිය හැකිනම් හා එසේ කිරීමට අවශ්‍ය තීව්‍ර ඉතිහාසමය දැනුම අපට ඇත්නම් පමණි. මෙවන් නිර්මාණාත්මක හැකියාවන් පිළිබඳව සිතන සැමවිටම මගේ සිහියට නැගෙන්නේ එවැනිම ආස්ථාන මත ගොඩනැගුනු උම්බර්තෝ ඊකෝගේ The Name of the Rose හා හෝස්ටයින් ගාටර්ගේ Vita Brevis: Letters to St. Augustine යන කෘතීන්ය. මේ කෘති දෙකම තම ආඛ්‍යාන ගොඩනැගීමේදී ඉතිහාසය හා ඉතිහාස රචණයේ දේශපාලනය සමග සූක්‍ශම බුද්ධිමය ගණුදෙනුවක නියැලෙයි.  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිතන විට මගේ සිහියට නැගෙන්නේ, මහාචාර්ය ගණනාත් ඔබේසේකර මෑතකදී (2017) පලකළ The Doomed King: A Requiem for Sri Vikrama Rajasinha යන  ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පිළිබඳව අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ 19වන සියවසේ සමාජ-දේශපාලන තත්ත්ව පිළිබඳව ලියුවුණු බෙහෙවින් රසවත් හා උනන්දුසහගත සංශෝධනවාදී ඉතිහාස කෘතියයි. මේ කෘතිය ඉතිහාසය හා අතීතය මත පදනම් වූ  ගද්‍ය සාහිත්‍යයේ නිරතවන්නට උනන්දුව ඇති අප රටේ ලේඛකයින්ට බෙහෙවින් වටිනා මූලාශ්‍රයක් වනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි.

නමුත් මෙවන් ප්‍රශ්න ඇසීමට හෝ අපගේ පරිකල්පණය පෝශණය කිරීමට නම් ඊට ප්‍රථමයෙන් අප ගෝලීය සාහිත්‍යය පිළිබඳ වඩාත් පුලුල් වූ ලෝකයට හා මහාචාර්ය ඔබේසේකරගේ කෘතිය සඳහා ආශ්‍රය කළ ඉතිහාසමය මූලාශ්‍ර හා සුඅන්-සන් හිමිනමගේ වාර්තා වැනි විශේෂඥ මූලාශ්‍රවලට ද විවර ව්ය යුතුයි. මෙවන් මූලාශ්‍ර බොහෝමයක් අද වන විට අවම වශයෙන් ඉංගිරිසියෙන් පළවී තිබෙන බවද අප අමතක නොකළ යුතුයි. නමුත් මේ සියල්ල කිරීමට යමෙකුට ඉවසීම හා කාලය යන සම්පත් දෙකම වැඩිවශයෙන් තිබිය යුතුයි.

පර්යේශණ පිළිබඳ ගැටලුව


මා සිතනාකාරයට තීව්‍ර මට්ටමින් සිදුකළ පසුබ්ම් පර්යේෂණ නොමැතිව කිසිම නිර්මාණ සාහිත්‍ය කෘතියක් ලිවීම කළනොහැක. මීට ඉහත සාකච්චා කළ කරුණුවලින් ද මෙය පැහැදැලි වනු ඇත. නවකතාවක් වශයෙන් ඉන්දියාවේ මුම්බයි නගරයේ ජීවත් වූ පාර්සි ප්‍රජාව හා 1970 ගණන්වල ක්‍රියාත්මන වූ ඉන්දීය ජාතිකවාදී දේශපාලනය පසුබ්ම්කරගෙන ලියූ රොහින්තන් මිස්ට්‍රි  ගේ Such a Long Journey කෘතියේ සාර්ථකත්වයට ප්‍රධානතම හේතුවක් වූයේ ඉන්දීය දේශපාලනය හා මෑතකාලීන ජනසංයුතික වෙනස්කම් පිළිබඳව මිස්ට්‍රි විසින් දියත් කරන ලද පසුබිම් පර්යේෂණය. එමෙන්ම, Baudalino කෘතිය පාඨකයින් අතර ජනප්‍රියවීමට එහි ඉතිහාසමය පසුබිම ගොඩනගා තිබූ ආකාරය කේන්ද්‍රීය වූ අතර, එයට හේතු වූයේ කතෘ උම්බර්තෝ ඊකෝ සතුවූ තිබූ 12වන සියවසේ ක්‍රිස්තියානි හා යුරෝපීය ඉතිහාසය පිළිබඳ ගැඹුරු දැනුමයි. තවද ඊකෝ විසින්ම රචනා කරන ලද  Name of the Rose    කෘතියට එහි සාර්ථක පඨිතමය පෞරුෂත්වය ලැබුනේ කතුවරයා සතුව තිබූ මධ්‍යතන යුරෝපීය ඉතිහාසය, සංඥාර්ථවේදය  (semiotics), බයිබල් විශ්ලේෂණය හා සාහිත්‍යවේදී න්‍යාය  (literary theory)  පිළිබඳව තිබූ ගැඹුරු හා මාහැගි දැනුමයි.

නැවත වරක් පවසන්නේ නම්, ඉහත සඳහන් නවකතා හා එවැනි අන් කෘති බොහෝමයක් සාර්ථකත්වයට හා ජාත්‍යන්තර පිළිගැනීමට හේතුවූයේ ඒවායේ කතා ගලා යන සන්ධර්භය හා ඊට අදාල මනෝභාවය ගොඩනැගීම සඳහා තී‍්‍ව්‍ර පර්යේෂණ ක්‍රියාවලියක ආලෝකය මැනැවින් ලබාගත් නිසාය. නමුත් මෙවැනි දැනුමක් සවිඥානිකවම ලබාගත යුතුය. එය ලබා ගැනීමේ එකම ක්‍රමය වන්නේ පුලුල් පර්යේෂණ ක්‍රියාවලියක්ය. ඒ සඳහා කෙටි මාර්ග නොමැත. මෙවැනි දැනුමක් දෛනික ජීවිත  අත්දැකීම්වලින්, උදෑසන පුවත්පත් කියවීමෙන් හෝ නිමක් නොමැති අන්තර්ජාලයේ ඔහේ රස්තියාදු ගැසීමෙන් ලබාගත නොහැක. එවන් දැනුමක් දිව්‍යඥානයෙන් හෝ යක්‍ෂාවේශයෙන් ලබා ගන්නටද නොහැක.

අප රට මේ වන විට සිරවී සිටින, විවේචනයෙන් තොර ජනප්‍රිය ජාතිකවාදී තත්ත්වය තුළ සිටිමින්, මා මේ පවසන දෑ හුදෙක් ජාතිද්‍රෝහී හා අසාධාරණ මනස්ගාත ලෙස පහසුවෙන් බැහැර කරන්නට ඔබට පුලුවන. අපගේ ලේඛකයින් අන් රටවල චිරප්‍රසිද්ධියට පත් රචකයින් තරම්ම සාර්ථකත්වය අත්කරගෙන සිටින බැව්ද ඔබට පැවසිය හැක. එවන් ස්ථාවරයක සිටින මිතුරු-මිතුරියන්ගෙන් හා වෘත්තීයමය සහෘදයින්ගෙන් මා අසන එකම ප්‍රශ්නය මෙයයි: උදාහරණ අතලොස්සක් හැර, අපගේ ඉංගිරිසි භාෂා නිර්මාණ සාහිත්‍යය ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියට පත්වී නැත්තේ මන්ද? ලෝක මට්ටමේ පාඨකයින් අපගේ ලේඛකයින් පිළිබඳව නොදන්නේ මන්ද? ලාංකේය ප්‍රභවයක් සහිත ලේඛකයින්ට ගෝලීය පිළිගැනීමක් ලබාගැනීම සඳහා ප්‍රථමයෙන් අප රට හැරදා යන්නට සිදු වූයේ මන්ද? මෙහිදී සිහියට නැගෙන ලේඛකයින් අතර මයිකල් ඔන්ඩච්චි, ශ්යාම් සෙල්වදුරේ, රොමේශ් ගුණසේකර යනාදීන් සිටී. මීට හේතු පුලුල් ගෝලීය ඉංගිරිසි භාෂණ ප්‍රජාව විසින් අපට එරෙහිව දියත්තරන ලද මහා කුමන්තූණයක්ද?

එනමුත් වඩා යතාර්ථවාදීව සලකා බැලිමේදී අප මුහුණපා සිටින මේ තත්ත්වයට හේතුව මා කලින් විස්කර කළ ගැටලුකාරි ක්‍ෂෙත්‍ර හතරට අවධානය ලබා නොදීම බවයි මාගේ විශ්වාසය. මීට අමතරව, මේ තත්ත්වයට අන් බොහෝ කරුණුද බලපාන බව මතක තබා ගත යුතුය. මේවා පිළිබඳව මා මෙහිදී විස්තර නොකළද මේ කරුණු අතරට ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයනට හිමිකම් තිබෙන ප්‍රකාශකයින් ලංකාවේ නොමැතිවීම; අපගේ ලේඛකයින්ව ගෝලීයව නගාසිටුවිය හැකි ඉහත කී ආකාරයේ සම්බන්ධතා සහිත සාහිත්‍යය ඒජන්ත ප්‍රජාවකගේ නොමැතියාව; රටේ ආර්ථික හා දේශපාලනික තත්ත්වය හා මේවා ගෝලීයව බලපෑම් කරණ ආකාරය යනාදී වශයෙන් කෙටියෙන් හඳුනාගත හැක.

මෙහිදී පැහැදිලිවිය යුතු කරුණක් වන්නේ, ස්වයං-ආවර්ජනීයව හා ස්වයං-විවේචනාත්මකව අපගේ ගැටලු දෙස බලා ඒවා තේරුම් ගැනීමට නොහැකි නම්, අපට කෙදිනකවත් දැනට අප රටේ බලපවත්වන පසුගාමී සාහිත්‍ය ඇගැයිමේ ක්‍රමවේදයන්ගෙන් මිදිය නොහැකිය යන්නය. කිසිම නිර්මාණ සාහිත්‍ය ඇගැයීමේ ක්‍රමවේදයක් යාතුකර්මයක් සේ වාර්ශිකව ඔහේ සම්මාන ලබාදීමේ රීතියක් අනුගමනය නොකළ යුතුය. සිදුවිය යුත්තේ ගෝලීය කඩඉම් හෝ පූර්ව කොන්දේසි පරිස්ථානීය තත්ත්ව තුළ සම්පූර්ණ නොකරන කෘති හා කෙටුම්පත් සැලකිල්ලට නොගැනීමයි. මේ ස්ථාවරයේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් වසරවල සම්මාන ලැබීමට සුදුසු රචනා නොමැති නම්, එය මෙවන් ක්‍රියාදාමයක සාමාන්‍ය තත්ත්වයක් සේ සැලකිය යුතුය. මා කලින්ද පැවසූ පරිදි නිර්මාණ සිහිත්‍යය ඇගැයීමේ ක්‍රමවේදයන් අනවශ්‍ය හා ගැටළුකාරි ලෙසින් දේශීය තත්ත්ව සමග සමීපව සම්බන්ධකරලීම නුසුදුසුය. සැබැවින්ම, අපි දෘශ්‍ය කලාව, ක්‍රිකට්,  චිත්‍රපට  හා දේශපාලන හා ආගමික ප්‍රචන්ඩත්වය සම්බද්ධයෙන් ගෝලීයව සමානයින් ලෙස තරඟකරමින් සිටිමු. එසේ නම්, රචනාකරණය සම්බන්ධයෙන් පමණක් එසේ නොකරන්නට අප පෙළඹෙන්නේ මන්ද? දේශීය හා අනේක පරිස්ථානීය තත්ත්ව අපට නිරතුරුවම දිරිය හා අදහස් ලබාදිය යුතුය. නමුත් අප මූලික වශයෙන් ලිවිය යුත්තේ මුලු මහත් ලොවම සඳහාය. මෙය වඩාත් බලපාන්නේ අප ලියන්නේ ඉංගිරිසියෙන්නම්ය. අප සිංහලයෙන් හෝ දෙමලෙන් ලියූවද එවන් රචනා පරිවර්තනය කිරීමට හා ගෝලීයව මුදාහැරීම සඳහා සුදුසුකම් ලබන්නේ ජාත්‍යන්තරව පිළිගත් යම් මුලික රචනා කොන්දේසි සපුරන්නේනම් පමණි. මාගේ අදහස නම්, අපගේ ලේඛකයෙකුට දේශීයව යම් සම්මානයක් ලැබෙන්නේ නම්, ඔහුට හෝ ඇයට එම සම්මානලාභී කෘතිය මගින්ම ගෝලීය සම්මාන සඳහාද තරග කළ හැකිවිය යුතු බවයි. එනමුත් මෙසේ කළ නොහැකිනම්, එයින් කියවෙන්නේ අප දේශීයව අනුගමනය කරන  ක්‍රමවේදයේ මහා-පරිමාණ ගැටලු තිබෙන බවයි.


අද දින මා මේ කරුණු සියල්ල පැවසුවේ යම් අදහසක් පෙරදැරි කරගෙනය. ඒ අපගේ ජාතික-සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ ඔබ තුළ ඇති ආත්මතෟප්තිය මොටකිරීමට නොවේ. මාගේ ආයාසය හුදෙක් නිර්මාණ සාහිත්‍යය පිළිබඳ අපගේ සාමූහික ආනාගය සඳහා යම් ආයාචනයක් කිරීමටයි. ග්‍රේෂන් සම්මාන ක්‍රියාවලිය ද ඇතුලුව අප රටේ ඇති සියලුම සාහිත්‍යය ඇගැයීමේ ක්‍රියාවලීන් අවධාරණය කරන්නේ නිර්මාණ ක්‍රියාවලියේ අවසන් ඵලයයි. එනම්, ලියා හමාර කළ කෘතියකට හෝ අත්පිටපතකට ‘සම්මාන’ දීමටයි. නමුත් ඒ ඵලය ලබාගැනීම සඳහා ලේඛකයින් කළයුත්තේ කුමක්ද, ඔවුන්ට අවශ්‍ය ආධාර උපකාර මොනවාදැයි අප කිසිවිටෙකත් අසන්නේ නැත. මෙනිසාම, මේ සම්මාන ක්‍රියාවලීන්ට අනුබද්ධව හෝ ස්වාධීනව තරුණ ලේඛක-ලේඛිකාවන් නගා සිටුවීම සඳහා හෝ, ඔවුනගේ කලාව සූක්‍ෂම කිරීම සඳහා හෝ,  මා මෙතෙක් සාකච්චා කළ ආකාරයේ ගැටලු පිළිබඳව කතාබස් කිරීමට හෝ ඒවා විසඳීමට මං පෙත් සෙවීම උදෙසා හෝ ගොඩනංවන ලද, නිරන්තරව පැවැත්වෙන හා ආයතනගත ක්‍රියාවලීන් අප රටේ දැකගැනීමට නැති තරම්ය. අප සම්මාන දීමට පෙර ඒවා ලබාගැනීමට සුදුසු ලේඛක පිරිසක් බිහිකිරීමට අවැසි පදනම හා වාතාවරණය සැකසිය යුතු නොවේද? 

මෙවන් කර්තව්‍යයක් උනන්දුසහගත පුද්ගලයින් අතලොස්සකගේ පෞද්ගලික උනන්දුව මත පමණක් වරින්වර පවත්වන වැඩමුලුවකින් දෙකකින් කළහැකි දෙයක් නොවේ. මා සිතානාකාරයට තරුණ හා උනන්දුව ඇති නිර්මාණකරුවන් සඳහා එවන් ‘පුහුණු’ කටයුතු මෙන්ම නොයෙකුත් දැනුම් පර්ෂද සඳහා අවකාශ විවරකරදීම නිරන්තරවම ආයතනගත මට්ටමකින් කළයුතු කාර්යයකි. ඊට ග්‍රේෂන් පදනමට හෝ අන් ආයතයකට උරදිය හැකිය. කෙසේ වෙතත්, මෙය අනිවාර්යයෙන්ම කළ යුතු දෙයකි. මාගේ තර්කය හුදෙක් වැඩමුලු පැවැත්වීමෙන් ප්‍රතිභාපූර්ණ සාහිත්‍යකරුවන් බිහිකළ හැකිය යන්න නොවේ. මා පවසන්නේ එවන් උත්සාහයන් මගින් තරුණ ලේඛකයින්ට තම රචනා හැකියාව දියුණුකර ගත් ප්‍රසිද්ධ නිරිමාණකරුවන් මුනගැසීමට අවස්ථාවන් ලැබීම නිසා එමගින්ම යම් ආකාරයේ උත්තේජනයක් හා වඩාත් පුලුල් වූ නිර්මාණ සාහිත්‍යය ලොවට ඇතුලු වීමට මාර්ග විවරවන බවත්ය. මා සිතන්නේ වසර ගණනාවක් මුලුල්ලේ ඉංදියාවේ රාජස්ථානයේ වාර්ශිකව පවත්වන ජායිපූර් සාහිත්‍යය උත්සවයෙන් බොහෝ දුරට සිදුවන්නේ මෙයයි.  මේ මූලික වශයෙන් සාහිත්‍ය පිළිබඳ සාරවත් කතාබහට සහභාගීවීමට හා ඇහුම්කම්දීමට මූල්‍ය පදනමකින් තොරව කැමති  ඕනෑම අයෙකුට අවකාශ විවරකරදීමකි. මාගේ වැටහීම නම්, මීට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක් සරණයෑම නිසා ලංකාවේ ගාල්ල සාහිත්‍යය උත්සවය මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බවයි. අවංක හා ප්‍රමාණික උනන්දුවක් තිබේ නම්, දැනට ඉන්දියාවේ මාගේ ස්ථානගතවීම කරණකොටගෙන මේ සම්බන්ධයෙන් යම් අකාරයක සහයක් මට ද දියහැකියැයි මම විශ්වාස කරමි.

මා සිතන්නේ එක් සන්ධ්‍යාවකට මෙවන් සභාවක සාමාන්‍යයෙන් කිවයුතු ප්‍රමාණයටත් වඩා වැඩි යමක් මේ වන විටත් මා පවසා ඇති බවයි. මාගේ ස්ථාවරය ඔබ සැමට පැහැදිලි බව මගේ විශ්වාසයයි. ඒ අදහස් සමග ඇතැමුන් එකගවන්නේද නැද්ද යන්න අවශේෂ කාරණයකි.
--> --> --> --> --> --> --> -->

No comments:

Post a Comment